The Leader of The Ceylon News
en en

සතොසට ලක්ෂ 40ක් පාඩු කළාට රු.50000ක දඩයක් සහ වසරක සිරදඬුවමක්

(සරත් පෙරේරා)

ස.තො.ස ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා වසරක සිරදඬුවමක් ලබා දෙන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(20) නියෝග කළා.

ඒ 2002 වසරේ ස.තො.ස ආයතනයට සහල් මිලදී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 40 පාඩුවක් සිදු කළ බවට ඔහුට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් ගොනු කර පැමිණිල්ලක් මත කැඳවූ නඩුවක් විභාග කර තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 50000ක දඩයක් ද මහේස්ත්‍රාත්වරිය නියම කළා.

එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස එවකට හිටපු වෙළෙඳ හා වාණිජ අමාත්‍ය රවි කරුණානායක සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති ලාල් වික්‍රමතුංග ඇතුළු පිරිසක් ද නම් කර තිබූ අතර ඔවුන් මීට පෙර අධිකරනයේ සාක්ෂි ලබා දෙනු ලැබ තිබුණා.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය මෙම දඬුවම ලබා දෙමින් පවසා සිටියේ විත්තිකරුට එරෙහිව සිරදඬුවමක් නියම කර ඇති බැවින් ඔහුට වන්දි ගෙවන ලෙස නියෝගයක් නොකරන බවයි.

සතොස ආයතනය මගින් ආනයනය කළ සහල් තොග නියමිත වටිනාකමට වඩා අඩු මුදලකට පෞද්ගලික අංශයට විකිණීම තුළින් රජයට රුපියල් මිලියන 4 ක පාඩුවක් සිදු කිරීම මගින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිර දඬුවමට එරෙහිව විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කරන බවද ඔහුගේ නීතිඥවරයා අධිකරණයට පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *