The Leader of The Ceylon News
en en

අනුරකුමාර ජවිපෙන් ජනාධිපතිවරණයට

(ජනක සෙනෙවිරත්න)

මෙරට ජනතාව ප්‍රෞඪ මිනිස් ප්‍රජාවක් බවට පත් කළ යුතුව තිබෙන බවත්, සියලු ජනතාව එකතු කරගැනීමෙන් මෙය දිනාගත හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඊයේ(19) අනුර දිසානායක නම්කිරීමෙන් පසු එම රැලිය අමතමින් ඔහු මේ අදහස් පැවසුවා.  

එහි දී අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවා.

“අපේ ජනතාව ප්‍රෞඪ මිනිස් ප්‍රජාවක් බවට පත් කළ යුතුව තිබෙනවා. මේ රට ලෝකය තුළ නොසැලෙන රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. මෙය කළ හැක්කේ සියලු ජනතාව මේ සටන සඳහා එකතු කිරීමෙනුයි. මෙය අපට දිනිය හැකි සටනක්. සියලු දෙනා මේ පණිවිඩය ගම් නියම්ගම් කරා ගෙන යන කෙනෙක් බවට පත්වෙන්න. ඒ සඳහා ඔබ සැමට ආරාධනා කරනවා.”

“එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය වෙනුවෙන් අපේක්ෂකයා ලෙස මා තෝරා ගනු ලැබ තිබෙනවා. ජාතික ජන බලවේගයටත් ඔබ ඇතුළු මේ රටේ පොදු ජනතාවටත් මා කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ නොකරන බවට සහතික වෙනවා. ”

මා තඹුත්තේගමට ආසන්න කුඩා ගමක ඉපදී ශිෂ්‍ය අවදියේ සිට තිස් වසරක් දේශපාලනයේ නිරතව සිටිනවා. පසුබැසීම්, අභියෝගවලට මුහුණ දෙමින් අප දේශපාලනය කරමින් සිටිනවා. ඈත ගම් දනව්වල ජනතාවගේ සිට සියලු තරාතිරම්වල මිනිසුන්ගේ අත්දැකීම් මත පදනම් වෙමින් අදින් අරඹන මේ සටන සහතික වශයෙන්ම ජයග‍්‍රහණයෙන් කෙළවර කරනවා.මේ ජනාධිපතිවරණය වනවිට රට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. එක් මාවතක් වන්නේ වසර 71ක් පුරා මේ රට පැමිණි යල් පිනූ විනාශකාරිත්වයේ මාවතයි. අනෙක සතුට, සැපත හා නිදහස පිරුණු සෞභාග්‍යයේ මාවතයි. මේ සෞභාග්‍යයේ මාවත තෝරා ගැනීම සඳහා සියලු ජනතාවට ආරාධනා කරනවා. රටට ආදරය කරන අදූෂිත දේශපාලනයේ, රට ගොඩනගන විද්වතුන්ගේ සහ රට මෙහෙයවන වැඩකරන ජනතාවගේ මධ්‍යස්ථානය මෙයයි. රටට අලුත් මාවත පෙන්වන්නේ ජාතික ජන බලවේගයයි.”

මේ රටේ පිළුණු වූ හිරිකිත දූෂිත වළල්ලක් අතට දේශපාලන බලය අත්වී තිබෙනවා. සමාජයට දේශපාලනය පිළිකුල් කර තිබෙන්නේ මේ තත්වයයි. මේ දේශපාලන පොර පිටිය සුද්ධ කර පිරිසිදු කරන බවට අප සපථ කරනවා. නව ආර්ථික ගමනකට රට යොමු කළ යුතුව තිබෙනවා. නිෂ්පාදනය මත පදනම් වන ආර්ථිකයක් නිර්මාණය කරන බවටත් එහි ඵල ගොවි ජනතාව, ධීවර ජනතාව, කම්කරු ජනතාව ඇතුළත් සමාජයට ගලා යාමට සලස්වන බවටත් සපථ කරනවා.මේ සමාජයේ විශාල ජනතාවක් විවිධ හේතු නිසා පීඩාවට පත්ව සිටිනවා. ජාතිකත්වය, කුලය, ලිංගිකත්වය මත ඔවුන් පීඩා විඳිනවා. සියලු අසාධාරණ සැලකීම් අහෝසි කොට ඔවුන් සියලු දෙනා මහා මිනිස් සමාජයක කොටස්කරුවන් බවට පත්කර ගන්නා බවට සපථ කරනවා.

අද මහජන ආරක්ෂාව ගැන සාකච්ඡාවක් පැමිණ තිබෙනවා. අද පාසල්, රෝහල් හා ඇතැම් ගම්මාන මායිම් අසලට පොලිස් මුරපොල පැමිණ තිබෙනවා. කිසිදු ජාතිවාදියෙකුට, අන්තවාදියෙකුට මේ මුරපොළවල් ඉවත් කළ නොහැකියි. ඔවුනට කළ හැකි වන්නේ ඒවා වැඩි කිරීම පමණයි. සැකය අවිශ්වාසය දුරු කළ, ජාතික සමගිය රජයන සමාජයක් ස්ථාපිත කරන බවට සපථ කරනවා.

මානව සමාජය ඉදිරියට ආවේ නිදහස් අදහස් ගැටී නිවැරදි අදහස් ඉදිරියට ගිය නිසයි. මානව අදහස් පෙට්ටගම්වල දමා වසා තැබිය නොහැකියි. එවැනි නිදහස් අදහස් ගැටෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් නිර්මාණය කරන බවට පොරොන්දු වෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරෙන දේශපාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

අප රටේ විශාල ජෛව විවිධත්වයක් ඇති පරිසර පද්ධතියක් තිබුණා. ලාභය හඹා යන මේ සමාජ ක‍්‍රමය එය විනාශ කරමින් යනවා. මේ රට සැකයකින් තොරව පලතුරක් ආහාරයට ගැනීමට බැරි තැනක් වී තිබෙනවා. ලෝකයේ කුණු ගෙනැවිත් දමන ස්ථානයක් බවට පත්වී තිබෙනවා. දරුවෙකුට විෂ නොමැති පලතුරක්, විෂ නොමැති ජල බිඳක්, පිරිසිදු හුස්මක් ලබාදීමට අප මැදිහත් වනවා.

අප අත්කරගන්නා සමාජ සංවර්ධනයේ ඵල ජනතාවට ලැබෙන සමාජයක් ස්ථාපිත කළ යුතුව තිබෙනවා. කුඩා දරුවන්ට පැහැදිලි අනාගයක් ලැබෙන, තරුණ තරුණියන්ට තමන්ගේ හැකියාවන්ට දක්ෂතාවයන්ට ප‍්‍රතිලාභ ලැබෙන, වැඩිහිටියන්ට සුරක්ෂිතභාවය ලැබෙන සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. අපට එවැනි සිහිනයක් තිබෙනවා.ඇමරිකානු කළු ජාතික විප්ලවීය නායක මාටින් ලූතර් කිං වරක් මෙහෙම කිවුවා.

“මේ යුගයේ ඛේදවාචකය වූ කලී නරක මිනිසුන්ගේ නරක ක‍්‍රියා නොව හොඳ මිනිසුන්ගේ නිහැඬියාවයි” ඇතැමුන් මේ ඛේදවාචකය ගැන කම්පාවෙන් සිටිනවා. නමුත් අප වෙනස් වීමට මැදිහත් නොවුණහොත් ඵලක් නැහැ. මෙතැනට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලෙස ඔබ මෙතැනට පැමිණ අපට ධෛර්යය ලබාදෙනවා. අප මේ රටේ ජනතාවට කිසිදා පසුතැවිලි වීමට සිදුනොවන අනාගතයක් ඔබට ලබා දෙන බවට සහතික වෙනවා.

අපේ ජනතාව ප්‍රෞඩ මිනිස් ප්‍රජාවක් බවට පත් කළ යුතුව තිබෙනවා. මේ රට ලෝකය තුළ නොසැලෙන රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. මෙය කළ හැක්කේ සියලු ජනතාව මේ සටන සඳහා එකතු කිරීමෙනුයි. මෙය අපට දිනිය හැකි සටනක්. සියලු දෙනා මේ පණිවිඩය ගම් නියම්ගම් කරා ගෙන යන කෙනෙක් බවට පත් වෙන්න. ඒ සඳහා ඔබ සැමට ආරාධනා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *