The Leader of The Ceylon News
en en

”ප්‍රසිද්ධම කෙනා නෙමෙයි සුදුසුම කෙනා පත්කළ යුතුයි” රවී කරුණානායක

(නායක බණ්ඩාර)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ ගනණාවකින් නියෝජිතයන් ඉදිරිපත් වන බවත්, ජනතාව මෙහිදි නිවැරදිව සිතා බලා කටයුතු කළ යුතු බවත්, විදුලි ඇමැති රවී කරුණානායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එහි දී පත්කළ යුතු වන්නේ ප්‍රසිද්ධම පුද්ගලයා නොව සුදුසුම පුද්ගලයා බවයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (18) පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති තරුණ දේශපාලන ක්‍රියාකාරී හමුවකට සහභාගි වෙමින්. ඒ අවස්ථවේ දී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.

”ජනාධිපතිවරණය ගැන කතා කරද්දි අද අපි නොයෙක් විකට කතා අහනවා. පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ ගනණාවකින් නියෝජිතයන් ඉදිරිපත් වෙනවා. ජනතාව මෙහිදි නිවැරදිව සිතා කටයුතු කළ යුතුයි. ප්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි පත්කල යුතුයි.   ඒ වගේම තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව රටක් ඒකරාශී කරලා, රටේ සෑම ක්ෂ්ත්‍රයක් තුළින්ම වඩාත් ඡන්ද ලබාගන්න පුළුවන්, වඩාත්ම ජනතාවට ළංවෙන්න හැකියාවක් ඇති පුද්ගලයෙක් තමයි ජනාධිපති අපේක්ෂකයා කළ යුත්තේ. ඒ නිසා මම අරයාගේ පුතා, මම ආර්ථිකය ගොඩනැගුවා, මම යුද්ධය ජයගත්තා කියන අය නෙවෙයි පත්කළ යුත්තේ. අපි මේ අවස්ථාවේ සලකාබැලිය යුත්තේ රටේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ගොඩනැගිය හැකි, රටේ තරුණයා මුල්කොටගත් සමාජයක් බිහිකළ හැකි ඒ වගේම රට ජාත්‍යන්තරයට ගෙන යා හැකි පුද්ගලයෙක් තමයි එක්සත් ජාතික පකෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්නේ.”

”වසර 71ක නිදහසක් ඇති රටක් එ.ජා.ප.යේ මහ ගෙදර වන සිරිකොත රටට ඉමහත් සේවයක් ඉටුකරලා තිබෙනවා. වෙනස්කම් වන එක තමයි රටට යහපත් වන්නේ. ඒ වෙනස්කම් සමඟින්ම පක්ෂයත්, රටත් ඒවගේම ජනතාවත් වෙනස් කරමින් ඉදිරියට ගෙනයාම තමයි පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ දක්ෂතාවය.”

”අද රටේ දැවෙන ප්‍රශ්න තමයි ජාතික ආරක්ෂාව, රටේ ජාතික ආර්ථිකය සහ තරුණයා මුල්කරගත් ගැටළු. ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටම මහත් ගැටළු මතුවී තිබෙනවා. ජාතීන් කිහිපයක් ජීවත්වන රටක. සෑම දෙනාටම මේ මගේ රට කියලා, නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් ඇතිකළ යුතුයි. යම් යම්  පුද්ගලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කතා කලාට, සුරංගනා කතා කිව්වට, රටේ සාමාන්‍ය ජනතාවගේ හදවතට දැනෙන ආකාරයට කතා කරන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි ප්‍රධාන ගැටළුව. එක පිස්සෙක් ඇති රටේ සමගිය සහජීවනය නැති කරලා දාන්න. මෑතකදී අපේ රටේ ඇතිවුණේ ඒ වගේ  තත්ත්වයක් තමයි.”

”අපේ ආර්ථිකය ගැන බලද්දි, සුද්දන්ගෙන් නිදහස ලබාගත්තට පස්සේ ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගිහින් තිබෙනවාද. නැහැ නේද. අපි බෝඩ් ලෑලි අල්ලගෙන, පාරවල් දිගේ ඇවිදින කොට, අනෙක් රටවල්  තමන්ගේ රටේ ජනතාව මුල්කරගෙන, ආර්ථිකය නගාසිටවන්න කටයුතු කරනවා. අපි හැදෙන්නේ නැහැ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නේ නැහැ කවදාවත්ම. ඒක තමයි අපි කළ යුත්තේ.”  

”අද තරුණ තරුණියෝ ඇවිත් කියන්නේ අපිට රජයේ රැකියා ලබා දෙන්න කියලා. මේ වනවිට රජයේ සේවකයින් ලක්ෂ 15 ක්  පමණ සිටිනවා. නමුත් රට ඉදිරිපට ගෙනියන්න රජයේ සේවකයින් ලක්ෂ 5 ක් 6ක් වැනි ප්‍රමාණයක් ප්‍රමාණවත්. මේ අනුව රටේ ආදායමින් 75% ක් යන්නේ රජයේ සේවයේ වැටුප් වලට. ඉදිරි 25% විශ්‍රාම වැටුප් ගෙව්වම. කොහොමද රටේ සංවර්ධනයක් කරන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *