The Leader of The Ceylon News
en en

ජනාධිපතිවරණයත් පළාත් සභාවත් එකට බෑ

(ජනක සෙනෙවිරත්න)

ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගිකව කළ නොහැකි බව කැෆේ සංවිධානය අවධාරණය කරනවා.

කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් පවසන්නේ මෙම මැතිවරණ දෙක එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බැවින් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එක ම දිනයක නොපවත් වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර ඇති බවයි.

මීට සති දෙකකට පෙර මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර පැවති සාකච්ඡාවක දී මහින්ද දේශප්‍රිය මේ පිළිබඳ අවධාරණය කළ බවයි කැෆේ සංවිධානය පවසන්නේ.

එමෙන්ම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට පළාත් සභා මැතිවරණය නියමිත කාලයේ දී පැවැත්වීමට කිසිදු උනන්දුවක් නොතිබූ බව පෙන්වා දෙන කැෆේ සංවිධානය පවසන්නේ මේ වනවිට ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සාධනීය කරුණක් ලෙස සැලකිය හැකි බවයි.  

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් තෝරා පත්කර ගැනීමට දරන උත්සාහය පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැක්වූයේ නම් මේ වනවිට පළාත් සභා අටක ඡන්දය පවත්වා අවසන් කිරීමට හැකියාව තිබූ බව ද කැෆේ සංවිධාන පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ජාතික දේශපාලනය කෙරෙහි දක්වන උනන්දුව පළාත් දේශපාලනය කෙරෙහි  නොදැක්වීම මෙහි ඇති බරපතළම තත්ත්වය බව ඔහු පවසනවා. ඉකුත් පළාත් පාලන මැතිවරණය ද වසර එක හමාරක් පමණ ප්‍රමාද වී හෝ පවත්වන ලද්දේ  සිවිල් සාමූහික කණ්ඩායම්වල ඉල්ලීම හා බලපෑම මත බව අහමඩ් මනාස් මකීන් පෙන්වා දෙනවා.

සෑම අවස්ථාවකදීම මෙරට බලයට පත් වූ සෑම රජයක්ම පාහේ තමන්ට වාසිදායක මැතිවරණය මුලින් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව පවසන කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු රජය නව ජනාධිපතිවරයකු යටතේ මහ මැතිවරණයකට ගමන් කිරීමේ වැඩි නැඹුරුවක් දක්නට තිබෙන බවයි.

පැවැත්විය යුතුව ඇති  පළාත් සභා මැතිවරණය වෙනුවට මහ මැතිවරණයක් පවත්වා තම බලය තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක් බව කැෆේ සංවිධානයේ අදහසයි.

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්මට ඇතැම් පාර්ශ්වයන් විරුද්ධ වන්නේ එමගින් එම පක්ෂවල ඡන්ද ප්‍රතිශතය හා දේශපාලන ශක්තිය කලින් හදුනාගැනීමෙන් ඔවුන්ට දේශපාලන අවාසියක් ඇතිවේ යැයි සිතන බැවින් බවද එම සංවිධානය පවසනවා.

මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ජනාධිපතිවරණයට පෙර හෝ පසු හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *