ශ්‍රී ලංකා ඉන්දුනීසියා රාජ්‍ය නායකයෝ හමුවෙති..

ශ්‍රී ලංකා ඉන්දුනීසියා රාජ්‍ය නායකයෝ හමුවෙති..

SHARE

වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පවසයි.

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා සඳහන් කලේ ශ්‍රී ලංකාව තුළ දුම්රිය නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳව සොයාබලන බවයි.

දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති නිල හමුවේදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

දිවයිනට පැමිණි ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අතර එහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයාව ඉතා උණුසුම් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගනු ලැබූ අතර එහිදී ආචාර වෙඩි මුර 21ක් සහිතව හමුදා උත්තමාචාර ද පිරිනමනු ලැබීය.

දෙරටේ නායකයින් අතර සුහද කතාබහකින් අනතුරුව ද්වී පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ප්‍රධාන ක්ෂේත්‍ර 03ක් ඔස්සේ එම ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම, දෙරට අතර පුද්ගල හා ආයතනික ධාරිතාව වර්ධනය කරගැනීම සහ ඉන්දියානු ශාන්තිකර සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළීබඳව එහිදී අවධානය යොමුව තිබේ.

දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළඳ සබඳතා ප්‍රර්ධනය කරගැනීම සඳහා නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිවරුන් දෙදෙනාගේ ද්වී පාර්ශ්වික සාකච්ඡා වලින් අනතුරුව ඔවුන් ඉදිරියේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03කට ද අත්සන් තබා තිබේ.

උසස් අධ්‍යාපන පර්යේෂණ හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, නීති විරෝධී අයුරින් මත් ද්‍රව්‍ය සහ මත් කුඩු මැඩලීමේ අවබෝධතා ගිවිසුම සහ සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබද අවබෝධතා ගිවිසුම ඊට ඇතුළත් වේ.