ලංකාවේත් බේබි ෆාම් ! දරුවන් 11000ක් යුරෝපයට විකුණලා..

ලංකාවේත් බේබි ෆාම් ! දරුවන් 11000ක් යුරෝපයට විකුණලා..

SHARE

දරුකමට හදා ගැනීමේ මුවාවෙන් ශ්‍රී ලාංකික දරුවන් 11,000ක් පමණ පසුගිය 80 දශකයේදී විදෙස් රටවලට විකුණා ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පිරිසෙන් ළමයින් 4,000ක් පමණ නෙදර්ලන්තයේ පවුල්වලටද අනෙක් ළමුන් ස්වීඩනයට, ඩෙන්මාර්ක්, ජර්මන්, බ්‍රිතාන්‍ය යන යුරෝපා රටවල් වෙතද විකුණා ඇති අතර ඒ සඳහා ව්‍යාජ ලිපි ලේඛන උපයෝගී කොටගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නෙදර්ලන්තයේ සමාජජාල මාධ්‍ය ව්‍යාපාරයකට සම්බන්ධ රෙවාන් වෑන් විලීන් නැමැත්තා සිදු කරනු ලැබූ හෙළිදරව් කිරීමක් හරහා මෙම තොරතුරු හෙළිදරව් වී ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ද නෙදර්ලන්තයට පැමිණ ඇත්තේ එවැනි ජාවාරකමක් හරහා බවත් ශ්‍රී ලංකාවට ගොස් තමන්ගේ සැබෑ දෙමාපියන් සොයා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ බවයි. මෙම ළමුන් ජාවාරමට ගොදුරු වී සිටින පිරිසට සිය සැබෑ දෙමාපියන් සොයා ගැනීම සඳහා අවශ්‍ය වන DNA බැංකුවක් පිහිටුවීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව පැවසේ.

1980 දශකයේ ශ්‍රී ලංකාවේ “බේබි ෆාම්” හෙවත් දරුවන් අලෙවි කරන මධ්‍යස්තාන තිබුණු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම මාධ්‍ය කණ්ඩායමට තහවුරු කර තිබේ.

2011 වසරේ දෙසැම්බර් මසදී ජාතික ළමාරක්ෂක අධිකාරිය මොරටුව ප්‍රදේශයේ ළමා නිවාසයක් වැටලීමත් සමග “බේබි ෆාම්“ පිළිබද කතාව නැවත වතාවක් කරළියට ආවේය. ළමාරක්ෂක අධිකාරියේ නිළධාරීන් එම  ස්ථානය වටලන විටත් ළමයින් මිළදී ගැනීම සදහා විදේශික යුවලක් එහි පැමිණි සිටි බව හෙළිවූ වූ බව මාධ්‍ය වාර්තා  කර තිබිණි. එක් අයෙක් ඇමරිකානු ජාතික මනෝ වෛද්‍යවරියකි. ආබාධිත සහ සිරුරේ විකෘතිකා ඇති දරුවන් මිලදී ගැනීමටද දෙදෙනෙකු පැමිණි සිටි බවත්, එවැනි දරුවන් විදේශ රටවලට ගෙන යන්නේ කුමණ කටයුත්තකට යොදා ගැනීමටදැයි ළමා අධිකාරියේ අවධානය යොමුව ඇති බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබිණි.

කෙසේ වෙතත් එක්තරා ආගමික සංවිධානයක් විසින් පවත්වාගෙන ගිය එම ළමා නිවාසය පිළිබද පරීක්ෂණ වහා නවත්වන ලෙසට මෙරට ආගමික සංස්ථාවක ඉහළම තැනක් එවක රජයට දැඩි ලෙස බලපෑම් කිරීම නිසා පරීක්ෂණ අකුලාගෙන නිහඩ වීමට ළමාරක්ෂක අධිකාරියට සිදුවිය.

 

NO COMMENTS

LEAVE A REPLY