දේශපාලකයෙක් තවත් ගුරුවරියක් දණ ගස්වයි..!

දේශපාලකයෙක් තවත් ගුරුවරියක් දණ ගස්වයි..!

SHARE

ඌව පළාතේ දේශපාලන බලවතෙකු විසින් ඌව පලාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක් තම නිල නිවසට කැඳවා දණ ගස්වා සිසුවියක් ඇතුළත් කිරීමට බලැපෑම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම දෙමළ බාලිකා විද්‍යාලයට සිසුවියක් ඇතුළත් කරගැනීම සඳහා අදාළ සිසුවියගේ මව්පියන් විසින් අදාළ දේශපාලනඥයාගේ ලිපියක් රැගෙන විදුහල්පතිනිය හමුවීමට ගොස් ඇති අතර අදාල විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්ෂේප කරමින් තමන් දේශපාලඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින බවත් අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ගේ නියෝගවලට අනුව පමණක් තමන් කටයුතු කරන බවත් ඇය අදාල දෙමව්පියන්ට ප්‍රකාශ කර තිබේ.

මේ බව එම මව්පියන් විසින් එම දේශපාලනඥයා වෙත දැන්වීමෙන් පසුව ඌව පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා එම විදුහල්පතිනිය බදුල්ලේ පිහිටි තම නිල නිවසට ගෙන්වා ගෙන තමන්ගෙන් වැඳ සමාව ගන්නා ලෙස අදාළ විදුහල්පතිනියට දන්වා බලහත්කාරයෙන් වන්දවා ගෙන ඇති බව කැෆේ සංවිධානය යොමු කළ ලිපියේ සඳහන් වේ.

මෙම ක්‍රියාව රාජ්‍ය සේවයේ ගරුත්වය කෙලෙසන ශිෂ්ඨ සම්පන්න නොවන, අමානුෂික ක්‍රියාවක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ හැඟීම බැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරක් ගන්නා මෙන් තමන් ඉල්ලා සිටින බව කිර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කොට ඇති ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

NO COMMENTS

LEAVE A REPLY