චීන මුහුදේ නෞකාවක් ගිනිගනී. 32 දෙනෙක් අතුරුදන් !

චීන මුහුදේ නෞකාවක් ගිනිගනී. 32 දෙනෙක් අතුරුදන් !

SHARE

චීන මුහුදේ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් පසු ඉන්ධන රැගත් නෞකාව ගිනිගෙන තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නෞකා දෙක ගැටීමෙන් පසු එක් නෞකාවක සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් 32 දෙනෙකු අතුරුදන් ව ඇති බවයි.

චීන ප්‍රවාහන අමාත්‍යංශය පැවසුවේ, අනතුරින් තෙල් ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලයේ පිරිස එලෙස අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්වූවන් අතර ඉරාන ජාතිකයින් 30 දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් 2 දෙනෙකු ද වන අතර අතුරුදන් කාර්ය මණ්ඩලය සොයා චීන මුහුදේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා චීනය නෞකා 8ක් එම ප්‍රදේශයට පිටත් කර හැර ඇති අතර මෙහෙයුම්වලට සහය වීම සඳහා දකුණු කොරියාව ද වෙරළාරක්ෂක බලකායක් සහ හෙළිකොප්ටර් යානයක් යොමු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි 21 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය බේරා ගැනීමට හැකි වූ බවයි.

ඉන්ධන රැගත් නැව පැනමා දේශයේ ලියාපදිංචි එකක් වන අතර ඉන්ධන ටොන් 136,000ක් රැගෙන ඉරානයේ සිට දකුණු කොරියාව බලා යාත්‍රා කරමින් තිබියදී නෞකාව මෙම අනතුරට මුහුණ දී ඇත.

අනෙක් නෞකාව අමෙරිකාවේ සිට දකුණු චීනය දක්වා ටොන් 64,000ක බරකින් යුත් ධාන්‍ය තොගයක් රැගෙන යාත්‍රා කරමින් සිට ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සියලු කාර්ය මණ්ඩලය චීන ජාතිකයින් වන බවයි.

NO COMMENTS

LEAVE A REPLY