සුන්දර මිමුරේට අවාසනාව කැන්දන “දේශපාලුවෝ”

සුන්දර මිමුරේට අවාසනාව කැන්දන “දේශපාලුවෝ”

SHARE


මීමුරේ ශ්‍රී ලංකාවේ ඇති අතිශය සුන්දරත්වයෙන් යුත් ගම්මානයකි. මීමුරේ ගැන නොදන්නා අය දුලබ නොවෙතැයි මම කල්පනා කරමි. ඒ තරමටම මී මුරේ ජනප්‍රියය.

මීමුරේ කැලයෙන් මෙන්ම, කඳු වළල්ලකින් වට වූ සුන්දර එහෙත්, ගමන් දුෂ්කරතාවයෙන් යුතු ගම්මානයකි. එහෙත් මී මුරේ වට වී ඇත්තේ නිකම්ම නිකං කැලෑවකින් හෝ කඳු වළල්ලකින් නොවේ. ලෝක උරුම වනාන්තරයකිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංරක්‍ෂිත වනාන්තරයෙනි. වටෙන් ගොඩින් කතා කරන්නේ කිම………· මී මුරේ ඇත්තේ දුම්බර නොහොත් “නකල්ස්‌” ලෝක උරුම වනාන්තරය තුළය.

මීමුරේ ගම්මානයට බස්‌ පාරක්‌ ඇත්තේ මහනුවර මහියංගනය 18 වංගුව පාරේ හුන්නස්‌ගිරිය කඩමණ්‌ඩිය මැදිනි. එතැන් සිට කිලෝ මීටර් 32 ක පමණ දුරක්‌ මී මුරේට ඇත. ඒ හැරෙන්නට ලග්ගල ප්‍රදේශයෙන් වනගත මාර්ග කිහිපයක්‌ ඔස්‌සේ මී මුරේ අනෙකුත් ජන සමාජය හා සම්බන්ධ කෙරුණත් සැබෑව නම් තිස්‌ස අත්තනායක මහතාගේ ඉල්ලීමකට රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට වසර ගණනාවකට පෙර මී මුරේට මාර්ගයක්‌ තනා දෙන තුරුම මී මුරේ වැසියන් හුන්නස්‌ගිරියට පැමිණියේ “තවලම්” පිට බඩු පටවාගෙන වීමය.

මේ කතාව මා කිවේ මීමුරේ වැසියන්ට අවමන් කිරීම සඳහා නොවේ. මී මුරේ පමණක්‌ නොව මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ගලමුදුන, උඩගලදෙබොක්‌ක, දන්දෙණිකුඹුර වැනි ප්‍රදේශවලට අදටත් ප්‍රවාහන පහසුකම් නැති අතර ඒ ගම්වැසියන්ට එය ප්‍රශ්නයක්‌ද නොවේ. “කේබල් කාර්වලින්” යනවාට වඩා උඩගල දෙබොක්‌ක හා ගලමුදුන ජනයාට සුපුරුදු පා ගමන තවමත් දාහෙන් සම්පතකි.

දුෂ්කර ගම්මානයක ඉපදුණු පළියට දියුණු පහසුකම් ඔවුන්ට නොලැබිය යුතුය යන හීන මානසිකත්වයක අපි නොසිටිමු. එහෙත් සැබෑව නම් අද අපට විමසිය යුතුව ඇත්තේ දියුණුය යන ජන සමාජවල පරිභෝජන රටාව සහ දියුණු සමාජවල වසංගතයක්‌ මෙන් පැතිර පවතින යහපත් පාරිසරික තත්ත්වය හොඳ වාතය හොඳ පානීය ජලය හොඳ ආහාර යනාදිය සපයා ගැනීමේ දුෂ්කරතාව මේ දුෂ්කරයෑයි කියන ගම්වැසියන්ට ඇත්ද යන්නය.

සැබැවින්ම නැත! මී මුරේ වැසියෝ පිංවන්තයන් යෑයි අපි කියමු. එසේම මී මුරේ ගම්මානය මේ මිහිතලය මත ඇති වාසනාවන්තම ගම්මානයක්‌ යෑයිද අපි කියන්නෙමු. ඒ අපගේ මති මතාන්තරවලට අනුවම නොවේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත තොරතුරු ප්‍රකාරවද මී මුරේ මිහිතලය මත ඇති වාසනාවන්ත ගම්මානයකි.

ලෝකය අද ගෝලීය උණුසුමත්, දේශගුණික විපර්යාස ගැනත් කතාකරයි. මිනිසා විසින්ම සිදුකරනු ලබන පරිසර දූෂණය හේතුවෙන් සමස්‌ත මිහිමඬල ම ගිනි කබලක්‌ ගානට වැටී ඇත. ලෝකයේ ප්‍රධාන නගර සියල්ලම පාහේ වායු දූෂණයට ගොදුරුව, ජනයාට හුස්‌ම ගැනීමට අපහසුව වෙනත් රටවලින් ඔක්‌සිජන් වායුව මිලදී ගෙන ආශ්වාස කරද්දී හෝ “මුකවාඩම්” බැඳගෙන සැරිසරද්දී, මී මුරේ හැඳින්වෙන්නේ වායු දූෂණය බින්දුව (‘eරද Zero Emission) ගම්මානයක්‌ නොහොත් වායු දූෂණය සෘණ අගයක්‌ ගන්නා ජනපදයක්‌ ලෙසිනි. ලෝකයේ මෙවන් ජනපද ඇත්තේ අතලොස්‌සකි. ඒ අතින් බලන කල මී මුරේ වැසියෝ සැබෑම පිංවන්තයෝ නොවෙත්ද?

ආහාර, ජලය, හුස්‌ම ගැනීමට වාතය පමණක්‌ ජන කොටසකට නොසෑහෙන බව සැබෑවකි. හොඳ නිවාස යහපත් ප්‍රවාහනය සහ කාර්යක්‍ෂම බලශක්‌තියද වත්මන් ලෝකයේ ජනතාව අපේක්‍ෂා කරන මූලික අවශ්‍යතාය. මී මුරේ වැසියන්ගේ ප්‍රථම අවශ්‍යතා තුනම දැනටමත් ඇත්තේ ඉතා ඉහළ මට්‌ටමකය. හොඳ නිවාස ඊළඟටම කතා කළ යුතු දේය. සැබෑය · මී මුරේ වැසියන් සාම්ප්‍රදායානුකූලව තම නිවාස සකස්‌ කර ගත්තද, බොහෝ දෙනකුට ඇත්තේ උළු හෝ වෙනත් ස්‌ථීර සෙවිල්ලක්‌ සහිත නිවාසය. වනගත ද්‍රව්‍ය හෝ කෘෂිකර්මාන්තය මගින් උපයා සපයා ගත් දැ මගින් ඔවුහු තමන්ට සරිලන සේ ස්‌ථීර නිවාස තනාගත්තෝ වෙති. ප්‍රවාහන දුෂ්කරතාව තිබූ අතීතයේදී පවා තවලම් පිටේ බැඳන් “උළු” රැගෙන ගිය ඔවුහු දැන් වාහනවලින් අවශ්‍ය කළමනා රැගෙන ගොස්‌ නව නිවාස තනා ගනිති.

මෙසේ සංකර සමාජයට අනුගතවන මී මුරේ සමාජයට ඇති ඊළඟ අවශ්‍යතාව කාර්යක්‍ෂම බලශක්‌තියයි. සත්‍ය නම් හුන්නස්‌ගිරියේ සිට කිලෝමීටර් 32 ක්‌ හෝ, උඩදුම්බර සිට එවැනිම දුරක්‌ රැහැන් විදුලිය රැගෙන යාම බල රහිත ක්‍රියාවක්‌ බැවින් මේ සෘණ පරිසර දූෂිත ගම්මානයට ලෝකයම උදම් අනන පුනර්ජනනීය බලශක්‌තිය ලබාදීම ප්‍රායෝගික වීමය.

අපේ ජනනායකයන්ගේ කයිවාරුව රටේ ජනගහනයෙන් සියයට සියයකටම රැහැන් විදුලිය ලබාදීමය. ඒ අතරතුර ඔවුන් දෙකොනින් කතා කරමින් පුනර්ජනනීය බලශක්‌තිය ප්‍රචලිත කිරීම ගැනද, ගෝලීය උණුසුම අඩුකිරීම ගැනද කතාකරන අතර එවන් ජාත්‍යන්තර සමුළු සංවිධානවලට සහ සම්බන්ධ වී ගිවිසුම්ද අත්සන් කරති. එහෙත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කීවාක්‌ මෙන් රට තුළ ක්‍රියාත්මක කරන්නේ වෙන ප්‍රතිපත්තියකි. නොහොත් කොමිස්‌ කුට්‌ටිපිටින් ගිල දැමිය හැකි දේශපාලන බඩගගෝස්‌තරවාදීන් පෝෂණය කරන බලශක්‌ති ප්‍රතිපත්තියකි.

මී මුරේ ලෝකයේ සෘණ වායු දූෂණයක්‌ සහිත ජනපදයක්‌ ලෙස ලෝකයේ නමක්‌ දිනාගත්තේ බලශක්‌ති අවශ්‍යතාව සඳහා ඔවුන් පුනර්ජනනීය බලශක්‌තිය කෙරෙහිද දක්‌වන ක්‍රියාකාරී දායකත්වය නිසාය. එහෙත් සැබෑව එය නොවේ. එම වටිනාකම් හෝ වටේ ඇත්තේ ලෝක උරුම වනාන්තරයක්‌ බවද නොතැකූ දේශපාලන බඩගෝස්‌තරවාදීන් කිහිප දෙනකු මී මුරේ දිනාගත් ලෝක පාරිසරික තත්ත්වයෙන් බිමට ඇද දැමීමය.

මීමුරේ ගම්මානය යනු විකල්ප (පුනර්ජනනීය) බලශක්‌ති ප්‍රභේද පහකින් බලශක්‌තිය උත්පාදනය කළ හැකි අති සුවිශේෂ ගම්මානයකි. ගම ආශ්‍රිතව දිය ඇලි කිහිපයක්‌ ඇති බැවින් කුඩා ජල විදුලි බලාගාර මගින් ඊට විදුලිය සපයා දිය හැකිය. එසේම සූර්ය බලය, සුළං බලය, ජීව වායුව, සහ දර බලය (ඩෙන්ෙඩ්‍රාa පවර්) යොදා ගෙන බලශක්‌තිය උත්පාදනය කළ හැකිය. සැබෑව නම් මේ දක්‌වා මී මුරේට විදුලිය සැපයුණේද ජල විදුලිය මගින් හා දර බලය (දැව) මගින් වීමය.

එසේ තිබියදී මී මුරේ ජනතාව අතරින් දේශපාලනයට පිවිසි පුද්ගලයකු විසින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උදව් ඇතිව විදුලි රැහැන් පද්ධතියක්‌ ඇද කෝටි ගණනක මුදලක්‌ නිකරුණේ වැය කර ඇති අතර ලෝක උරුම නකල්ස්‌ වනාන්තරයේ ගස්‌ දහස්‌ ගණනක්‌ කපා විනාශයට ලක්‌ කර තිබේ. එනම් මී මුරේ ගම්මානයට රැහැන් විදුලියේ අවශ්‍යතාවක්‌ නැතිව පුනර්ජනනීය විදුලි බලය ලබාදීමට තිබු හැකියාව මෙන්ම මෙතෙක්‌ එසේ ඉටුකරන ලද සේවාව මැදින් පැනගත් ඉහත ප්‍රාදේශීය දේශපාලනඥයා මී මුරේ ගමට මෙන්ම ලෝක උරුම නකල්ස්‌ වනාන්තරයට නොමැකෙන අතිවිශාල විනාශයක්‌ සිදුකර තිබේ. එබැවින් එය දැන් යුනෙස්‌කෝ සංවිධානයේද විශේෂ අවධානයට ලක්‌ව ඇත.

ජනාධිපතිතුමන් පසුගිය දිනෙක ප්‍රංශයේ පැරිස්‌ නුවර දේශගුණික සමුළුවට සහභාගි වී අගනා කතාවක්‌ද කර පරිසරහිතකාමී පුනර්ජනනීය බලශක්‌තිය රට තුළ ප්‍රචලිත කරන්නට ජාත්‍යන්තරය හමුවේ ප්‍රකට කරද්දී, එහි සැබෑව ක්‍රියාත්මක කරමින් පැවතුණු මී මුරේ වැනි ලෝකයේ අතිශය දුලබ ගම්මානවලට කඩාවැදුණු දේශපාලන පිසාචයෝ මෙවන් ගම්මාන හා ඊට ලැබී ඇති ලෝක ගෞරවය විනාශ කිරීම බරපතල ෙ€දවාචකයක්‌ සේ අපි දකිමු.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයාද සම්බන්ධ කරගනිමින් මෙසේ මී මුරේ දේශපාලනයේ යෙදෙන මේ අතදරුවා” නොහොත් දේශපාලන “මොන්ටිසෝරිකරුවා” සිදුකර ඇත්තේ මහත් විනාශයකි. ඔහුගේ මෙම ක්‍රියාව හේතුවෙන් මී මුරේ ක්‍රියාත්මක වූ දැව බලාගාරය (ඩෙන්ෙඩ්‍රාa පවර්) ද කුඩා ජල විදුලි බලාගාරයද දැන් අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ. එසේම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කෝටි ගණනක්‌ මුදල් ගසා කා ඇති අතර වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය කෙරෙන ලෝක උරුම වනාන්තරයකට නීති විරෝධී ලෙස අතිශය විශාල වන විනාශයක්‌ සිදුකර තිබේ පුදුමය නම්, වන සංරක්‍ෂණය ඊට ක්‍රියා නොකිරීමය.

මේ පිළිබඳව තවදුරටත් කරුණු කාරණා සොයනු පිණිස අප පසුගියදා මී මුරේ සංචාරයක නිරත වීමු. එහිදී ලබාගත් තොරතුරු පිළිබඳව මීළඟ ලිපියෙන් අනාවරණය කරන්නෙමු.

ජගත් කණහැරආරච්චි

NO COMMENTS

LEAVE A REPLY