සජිත් ප්‍රශ්නයේදී මම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටිය නිසා මෙහෙම වුණා කියලා...

සජිත් ප්‍රශ්නයේදී මම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටිය නිසා මෙහෙම වුණා කියලා බොහෝ දෙනෙක් කියනවා.

SHARE

ඔබට වසර ගණනක් යනකම් පක්‍ෂය තුළ තැනක් තිබුණේ නැහැ. වසර 3 1/2ක් යනකම් ඇමැතිකමක්වත් නැහැ. හදිසියේම තනතුරක් දෙන්න ප්‍රධාන හේතුව කුමක්ද?

මෙවර හය දෙනකුට ඇමැති තනතුරු දුන්නා. මේ හය දෙනාගෙන් තුන් දෙනෙක් කලින් එ.ජා.ප.ය නියෝජනය කළ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරු. මේ තුන්දෙනාගෙන් දෙන්නෙක් ඇමැති තනතුරු දරපු දෙන්නෙක් එඩ්වඩ් ගුණසේකර, ලකී ජයවර්ධන මන්ත්‍රිවරු කලින් උප ඇමැති හා රාජ්‍ය ඇමැති තනතුරු දැරුවා. ඉතිරි තුන්දෙනා 2010 පාර්ලිමේන්තු ඇවිත් ඇමැති තනතුරු නොලැබුණු අය. මම අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාරගෙන් මම තමයි 2010 මුලින් ආපු ගොඩේ ඉතිරි වුණේ. අනෙක් දෙදෙනා එන්නේ මඟදි. ජයලත් ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තු එනවා. දයාසිරි ජයසේකරගේ පුරප්පාඩුවට නලින් බණ්ඩාර ආවා. මමත් 2010 ගොඩට අහු වෙන්නේ. මම අදටත් දන්නේ නැහැ 2010 මුල් වටයේ පාර්ලිමේන්තු ආපු සියලු දෙනාට තනතුරු ලැබෙද්දී මම විතරක් කොන් වුණේ ඇයි කියලා.

එහෙම වෙන්නේ ඇයි?

ඒක මටත් හිතාගන්න බැරි ප්‍රශ්නයක්.

ඔබ සජිත් ප්‍රේමදාසවාදියෙක් නිසාද?

රනිල් – සජිත් ප්‍රශ්නයේදී මම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටිය නිසා මෙහෙම වුණා කියලා බොහෝ දෙනෙක් කියනවා.

සජිත් වෙනුවෙන් පෙනී හිටපු ගොඩක් අයට තනතුරු ලැබුණා. ඒත් ඔබ කොන් වෙනවා. එ.ජා.ප. නායකයා ඔබේ ගමනට කැපිලි දානවාද?

ඒක මට හිතාගන්න බැහැ. ඒක මටත් ප්‍රශ්නයක්.

ඔබව තනි කරලා ඔබට ගහන්න හේතුව මොකක්ද?

සියලු දෙනාට තනතුරු ලැබෙන්නත් මට තනතුරු නොලැබෙන්නත් හේතුවක් තියෙන්න ඕන. නායකත්වය විසින් සජිත් ප්‍රේමදාසට වැඩ කළ අයට හිතාමතා කැපිල්ලක් දානවා නම් ඉතුරු අයටත් තනතුරු ලැබෙන්න බැහැනේ. ඉතිරි අයට ලැබෙද්දී මට නොලැබෙන්නත් හේතුව මටම සුවිශේෂී වූ ප්‍රශ්නයක් වෙන්න ඕන. ඒ සුවිශේෂී ප්‍රශ්නය මොකක්ද කියන එක මම දන්නෙත් නැහැ.

සුවිශේෂී ප්‍රශ්නය පිටුපස සිටින්නේ මාතර කෙනෙක්ද?

දන්නේ නැහැ.

සාගල රත්නායක ඇමැතිවරයා නිසාද ඔබට මේ කැපිල්ල?

මම ඒක දන්නේ නැහැ. මම අදටත් ඒක නොදන්න දෙයක්. ඒක නොදන්න හේතුව තමයි තනතුරු නොලැබුණේ ඇයි කියලා මම අහලා නැති නිසා. පාර්ලිමේන්තුවේ ගොඩක් අය වරින් වර අගමැතිමා හමුවෙලා ඒ අයට තනතුරු තානාන්තර නොලැබීම ගැන කතා කරනවා. තනතුරු ගන්නවා. නමුත් මම කිසිම දවසක ඒ ගැන කතා කරලා නැහැ.

පොඩි පොඩි තනතුරු දීලා ඔබව රවටපු අවස්ථා තිබුණා නේද?

ඒක රැවටිල්ලක් කියලද දන්නේ නැහැ. කොහොම හරි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කළා. මම අධීක්‍ෂණ මන්ත්‍රිවරයකු ලෙස පත් කළා, නියෝජ්‍ය ඇමැති ධුරය ලැබෙන්න සති කිහිපයකට කලින්. මෙවරත් නි. ඇමැති තනතුර ලැබෙනකොටත් පෙර අවස්ථාවලත් මම ලංකාවේ නොවෙයි හිටියේ.

ලංකාවේ නොහිටියට ලැබෙන ඇමැති තනතුර ගැන කලින් දැනන් හිටියනේ?

මට කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමැති ධුරය ලැබෙන්නේ ඒ සඳහා දිවුරුම් දෙන්න එන්න කිව්වා. මට කියපු දවසේ එන්න බැරි වුණා මොකද මට පාර්ලිමේන්තුවේ වැදගත් ප්‍රශ්නයක් කතා කරන්න තිබුණා. මම දිවුරුම් දුන්නා නම් ඒ ප්‍රශ්නය මට අහන්න වෙන්නේ නැහැ.

3.30න් පස්සේ දිවුරුම් දෙන්න යන්න එන්නම් කියලා හිටියේ ප්‍රශ්නය අහන්න ඕන නිසාද වෙන කෙනෙක් මඟ හරින්න ඕන නිසාද?

මම පාර්ලිමේන්තුවේදී මාතර – කොළඹ බස්වලින් කප්පම් ගැනීම ගැනයි අහන්න හිටියේ. අනික ඇමැති තනතුරක් නැතිව වසර 3 1/2ක් හිටපු එකේ පැය 3 1/2ක් පහුවුණා කියා අමුතු දෙයක් වෙන්නේ නැහැ.

දිවුරුම් දෙන්න ගියේ කර්මාන්ත හා වාණිජ නි. ඇමැති ලෙස නමුත් ලැබුණේ වෙනත් තනතුරක්. එහෙම වුණේ ඇයි?

අගමැතිතුමා අස්සන් කරලා ජනාධිපති ලේකම්ට යවපු ලියුමේ තියෙන්නේ කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමැතිකම. අගමැතිතුමා රට ඉන්න අතරේ නැවත ලියුමක් ජනාධිපති ලේකම්ට යනවා අගමැති ලේකම් සමන් ඒකනායකගේ අස්සනින්. ඒකේ තියෙන්නේ මගේ ඉල්ලීම පරිදි කර්මාන්ත හා වාණිජ නි. ඇමැති ධුරය ඉවත් කරලා නගර සැලසුම් හා ජල සම්පාදන නි. ඇමැති ධුරය දෙන්න කියලයි.
ඔබ එම තනතුර ඉල්ලුවාද?

මේ තනතුර නෙවෙයි කිසිම තනතුරක් කවදාවත් ඉල්ලලා නැහැ. නමුත් මේ තනතුරු මාරුව කොයි ආකාරයටද වුණේ කියලා මට අදටත් හිතාගන්න අමාරුයි. ඇමැති තනතුරු වෙනස් වුණේ කොහොමද කියලා.

ඔබ මේ ගැන විමසුවේ නැද්ද?

තාම සමන් ඒකනායක මහතා මුණගැසුණේ නැහැ.

අහන්නේ නැද්ද මොකද වුණේ කියලා?

අනිවාර්යයෙන්ම අහනවා මොකක්ද ඒ ලියුම කියලා.

බුද්ධික දැන් සතුටින්ද ඉන්නේ?

මම කොහොමත් සතුටින් හිටියේ. ඇමැතිකම් ලැබුණා නොලැබුණා කියලා වැඩක් නැහැ. මම මට ලැබුණු තනතුරෙන් වැඩ කරනවා. මම ඉල්ලපු නැති තනතුරු ලැබුණ ඒක ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා.
මාතරින්ම ආපු කෙනකුගේ කැපිල්ල නිසා නේද එහෙම වුණේ?

ඒක දන්නේ නැහැ. සමන් ඒකානායක මහතාගෙන්මයි ඒ ගැන දැන ගන්න ඕන. මොකද මාව කපන්න තමයි නගර සැලසුම් හා ජල සම්පාදන නි. ඇමැතිකම දෙන්න ගියේ. මාතර ජල ප්‍රශ්නයක් තියෙනවා. අදටත් මාතර ජලය දෙන්නේ දවසක් හැර දවසක්. මාතරට ජලය දෙන්න ජල ව්‍යාපෘතියක් දැනටමත් ක්‍රියාත්මකයි. ඒකේ ප්‍රතිලාභ ලැබෙන්නේ 2021දී. ඒ නිසා මම නෙවෙයි සක්කර දෙවියෝ මාතර හිටියත්, ජනාධිපති හිටියත් අගමැති හිටියත් මාතර ජල ප්‍රශ්නය 2021 වෙනකම් විසඳෙන්නේ නැහැ. එහෙම වතුර දෙනවා නම් බවුසර් දාලා තමයි දෙන්න වෙන්නේ. මම ඒ ඇමැති තනතුර ගත්තා නම් ඇමැතිකමක් තමයි. හැබැයි ඒක හොඳට අයිසින් කරපු කේක් එකක් වුණාට ඒකට නයි විස කවලා තියෙන්නේ. ඒක කෑව නම් මම ඉවරයි.

ලෙයින් අස්සන් කරලා පක්‍ෂය දාලා යන්නේ නෑයි කියූ බුද්ධික පතිරණ එක්ක පක්‍ෂ නායකයා මේ තරම් තරහා ඇයි? ඔබ කාලයක් මහින්දවාදියෙක් කියා හංවඩු ගැහුණු නිසාද?

මහින්ද මහත්තයා එක්ක ශුද්ධ හෝ අශුද්ධ සන්ධානයක්, මම ගොඩනඟා ගෙනත් නැහැ. ගොඩනඟා ගන්නෙත් නැහැ. නමුත් සමහර අය උත්සාහ කළා මම මහින්ද මහත්තයා එක්ක සම්බන්ධයි. ඩීල් තියෙනවා කියා මට හම්බ වෙන දැවැන්ත මනාප ටික අඩු කරන්න. එ.ජා.ප. පාක්‍ෂිකයෝ කෙරෙහි මා ගැන විශ්වාසය නැති කරන්න. ඒ අයගේ පටු පරමාර්ථ ඉෂ්ට කර ගන්නයි වුවමනා වුණේ. වෙබ් අඩවි හරහා පුවත්පත් හරහා පත්‍රිකා හරහා මට මඩ ගැහුවා. නමුත් මාතර අය ඒ සියලු දෙනාට වඩා මාව විශ්වාස කළා. මම ලෙයින් දුන්නේ කවදාවත් ලංකාවේ කිසිම දේශපාලන නියෝජිතයෙක් නොකරපු සහතිකයක්. මේ සියලු දේ නිසා මාතර ජනතාව මාව විශ්වාස කළා. මම පක්‍ෂ මාරු කරනවා කියූ කතාව කවුරුත් පිළිගත්තේ නැහැ.

එ.ජා.ප.ය දැන් සමනල පක්‍ෂයක් වෙලා කියා ජනතාවගෙන් බරපතළ චෝදනා එනවා. එක පැලැන්තියක් විතරයි පක්‍ෂය පාලනය කරන්නේ දැවැන්ත පක්‍ෂයකට මෙහෙම වුණේ ඇයි?

මේකට හේතුව එ.ජා.ප.යේ කරන හරි වැඩ ගමට සන්නිවේදනය නොවීම. මොකද මීට වඩා ඒක ජනතාවාදි වෙන්න ඕන. එ.ජා.ප.ය කියන්නේ තනි පුද්ගලයකුගේ හෝ කණ්ඩායමකගේ හෝ එක පන්තියක බලයක් නෙවෙයි. එ.ජා.ප.යට කාලයක් කිව්වා උන්ගේ නෑයන්ගේ පක්‍ෂය කියලා. නමුත් 77න් පස්සේ ඒ තත්ත්වය වෙනස් වුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා දක්‍ෂයන්ට තැන දුන්නා. රණසිංහ ප්‍රේමදාසව අගමැති කළා. ලංකාවේ කුල සංස්කෘතියට හොඳ සහනයක් දෙමින් ජයවර්ධන ජනාධිපතිතුමා අපේක්‍ෂකයෝ තේරුවා. ඒ නිසා එ.ජා.ප.ය පොදුජන පක්‍ෂයක් ජනතාවාදි පක්‍ෂයක් ලෙස සුවඳවත් වුණේ ජේ.ආර්. ජයවර්ධන මහතා නිසයි. 1973 පක්‍ෂ නායකයා වුණ තැන ඉඳන් ඔහු මේ වෙනස පක්‍ෂය තුළ කළා. ඊට කලින් ඉඳන් ඊට ප්‍රවේශ වුණා. ජාතික සේවක සංගමය ඇති කළා. එ.ජා.ප. වෘත්තීය සමිතියක් එතුමා ඇති කළේ එතුමාගේ පෞද්ගලික සල්ලිවලින්. මේකට එදා වාමාංශික ව්‍යාපාරය හිනා වුණා. එ.ජා.ප.ය වගේ ධනේශ්වර ව්‍යාපාරයක් කොහොමද වෘත්තීය සමිති ඇති කරන්නේ කියලා කට්ටිය හිනා වෙද්දියි එතුමා රතුපාටට කොළ පාට එක් කළේ. පළමු මැයි රැලිය කළාම ඒක පිහිළුවට ගත්තා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ පරිවර්තනය කළා. ඊට පස්සේ එ.ජා.ප.යට ශිෂ්‍ය ව්‍යාපාරත් එකතු කළා. සමවාදි ශිෂ්‍ය ව්‍යාපාරය හදමින් ඩඩ්ලි, – ජේ.ආර්. සුසංයෝගය පක්‍ෂය ශක්තිමත් කළා.

එ.ජා.ප.යේ ඒ ප්‍රබෝධය අද දකින්න නැහැ. ඒකට හේතුව මොකක්ද?

ඒ හේතුවට උත්තරේ රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති කරමින් ඇති කළ රට ප්‍රබෝධයවත් යුගයක් වුණා. ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ වාඩි වෙනකම් අගමැති, ජනාධිපති පුටුවේ වාඩි වෙන්න ගෝත්‍රය, පන්තිය, කුලය හැම එකක්ම බැලුවා. ඒ කුල සාධක අලුයම හෙළුෑ කෙළ පිඩක් සේ වෙනස් වුණා. ප්‍රේමදාස වාගේ සාමාන්‍ය කෙනෙක් රටේ ජනාධිපති වීමෙන් එ.ජා.ප.ය තව තවත් ජනතාව අතරට ගියා. ප්‍රේමදාස මහතා එම තනතුරේ වාඩි වුණේ දීර්ඝ දේශපාලන ගමනක ප්‍රතිඵලයක් ලෙස. එතුමාගේ පියා එතුමාට කියනවා ඔබ කොච්චර දැඟලුවත් මේ කුල සාඨකය තියෙනකම් රටේ අගමැති වෙන්න බැහැ කියලා. රිචඩ් සිල්වා මුදලාලි එහෙම කියද්දී රණසිංහ ප්‍රේමදාස මහතා ඒ ගමන යනවා. මේ ගලන ගඟ ආපසු හැරෙන්නේ නැහැ.

මගේ ප්‍රශ්නයට උත්තරය ලැබුණේ නැහැ. අද පක්‍ෂයට මොකද මේ වෙලා තියෙන්නේ?

ඒ ප්‍රවාහයේ වෙනස්කමක් වෙලා තියෙනවා. මොකද අද සමාජය වෙනස්. එදා ප්‍රේමදාස මහතා නිදහසේ වැඩ කළාට අද සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග මැදින් තමයි නිවාස ව්‍යාපෘති කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි පක්ෂයටත්. පක්ෂය තුළත් අපි නූතනයට හරියන ලෙස අපි පෙළ ගැහිලා යන්න ඕන. ඒ නූතනය සමඟ පෙළ ගැහෙන කොට යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. මේ සන්දර්භය තුළයි ඔබ කියන කාරණාව තියෙන්නේ.

එජාපය ඔහොම හිතනකොට පොහොට්ටුව වගේ අලුත් පක්ෂ ඉදිරියට එනවා?

පොහොට්ටුව ගොනුවෙලා තියෙන්නේ නායකයෙක් මත. එහෙම නැතිව වැඩපිළිවෙළක් මත නෙමෙයි. පොදුජන පෙරමුණ තුළ මහින්ද රාජපක්ෂ කියන චරිතය විතරයි හැමවෙලේම ඉස්මතු වෙන්නේ.

එජාපයට එහෙම නායකයකුත් නැහැ, වැඩපිළිවෙළකුත් නැහැ. පිළිගන්නවාද?

මම ඔබ කියන කාරණයට සම්පූර්ණයෙන් එකඟ වෙන්නේ නැහැ. එජාපය එජාපයට අනන්‍ය වූ වැඩපිළිවෙළක යනවා. හැබැයි ඒ වැඩපිළිවෙළ මාර්කට් කරන්න, සමාජගත කරන්න, ජනගත කරන්න ගන්න උත්සාහය මදි. ඒක බරපතළ ගැටලුවක්.

ඒක පක්ෂයේ දුර්වලකමනේ?

ඒක අපේ සන්නිවේදන කටයුතුවල දුර්වලකම. ඒ දුර්වලකම අපි පහුගිය ඡන්දයේදී හඳුන ගත්තා. ඒ නිසා පක්ෂය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කරන්න එජාපයට හැකි වුණා.

94 ඉඳන් මැතිවරණ පරාජය වෙන නායකයෙක් අරගෙනද මේ ඉදිරි ගමන යන්න හදන්නේ? ඇයි සජිත් වගේ චරිත ඉදිරියට ගේන්නෙ නැත්තේ ?

1950 දශකයේ ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා 1952 නායකයා වෙනවා. ඔහු කෙටි කාලයක් ඉඳලා සර් ජෝන් කොතලාවල මහතාට පක්ෂය භාර දෙනවා. ඔහුත් කෙටි කාලයයි ඉන්නේ. ඔහු නැවත ඩඩ්ලි සේනානායක මහතාට පක්ෂය භාර දෙනවා. ඒ වෙලාවේ ජේ. ආර්. ජයවර්ධන මහතා පක්ෂය භාරගන්නේ නැහැ. 1952 – 73 දක්වා වසර 21ක් ඩඩ්ලි සේනානායක මහතා දිනුවා. පැරදුණා. හැබැයි එජාප වැඩපිළිවෙළ ගියා. එජාපය ඇතුළේ සියලු ජාතීන් නියෝජනය කළා. පක්ෂ නායකයා රටේ ඕනෑම තැනක ගියොත් එකම කතාව කිව්වේ. තැන තැන කතාව වෙනස් කළේ නැහැ. වෙළෙඳපොළ මුල්කර ගත් අර්ථ ක්‍රමය, ජනතාවාදී වීම තිබුණත් එජාපයේ අවාසනාවට සමහර වෙලාවට එජාප මතවාදය ජනගත වුණේ නැහැ. අපේකම, අපට උරුම දේ, අපේ රට කියා හඬ නඟන්න ඕන එජාපය. නමුත් අද වන විටත් එදත් එජාපයට එහෙම වෙන්න බැරිවුණා. ඒක පක්ෂයේ ඉදිරි ගමනට වුණ ඛේදවාචකයක්. එජාපයේ ඒ වෙනස ප්‍රේමදාස ජනාධිපතිතුමා කළා. ඡන්ද බලය ගමේ නැති මොහොතක ප්‍රේමදාස මහතා ගමේ බලය අරගත්තා. දඹුල්ල ආසනය දිනුවේ කණ්ඩලම හෝටලය හදනවා කියා ආපු විරෝධතා එක්ක. ඇඹිලිපිටිය සිසු ඝාතන චෝදනා එද්දී අපි කොලොන්නේ දිනනවා. නමුත් බස්නාහිර, දකුණ අපි පරදිනවා පොදුජන එක්සත් පෙරමුණ හා රාජාලියා පක්ෂ එකතුවෙලා බලය පිහිටුවීමෙන්. රටේ බහුතර නාගරික නියෝජනය එදා එජාපයට අහිමි වෙනවා. එජාපය ආපු ගමනක් තිබුණා. ඒ ගමන වෙනස් කරමින් ආ නිසයි අද තත්ත්වය උදාවුණේ. පසුගිය පළාත් පාලන ප්‍රතිඵලය එක්ක ඒ වෙනස අපි දැක්කා. ඒ නිසයි පක්ෂය තුළ, ආණ්ඩුව තුළ වෙනස්කම් ඇති කළේ. එහි සාධාරණය අපට දැන්ම පුරෝකථනය කරන්න බැහැ. ඊළඟ මැතිවරණයෙන් තමයි ඒක කරන්න වෙන්නේ. මේ සාධනීය වෙනස ජනතාව අතරට ගියේ කොහොමද කියා බලලයි ඒක තීරණය කරන්න වෙන්නේ.

උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනවා. උතුරෙන් බෝම්බ හමුවෙනවා. විජයකලා එල්.ටී.ටී.ඊ.ය ගේන්න ප්‍රකාශ කරනවා. බුද්ධි අංශ අඩපණ කරලා. ඇයි රටට මෙහෙම වෙන්නේ?
මේ රටේ ජනතාව උතුරට ප්‍රභාකරන් කෙනෙක්වත් දකුණට හිට්ලර් කෙනෙක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටට අවශ්‍ය ජීව ගුණයෙන් පිරි නායකයෙක්. ඔහු කාර්යක්ෂම නායකයෙක් විය යුතුයි. අද නායකයෝ රට තුළ වැඩ කරන්නේ බෝඩිංකාරයෝ වගෙයි. රට මගේය කියා හිතන වෙලාවට අතට ගාණක් එනවා නම් මගේ කියා වැඩ කරනවා. නැත්නම් බෝඩිංකාරයෝ වගේ. බෝඩිංකාරයට රට ගැන හැඟීමක් නැහැ. නිදහසින් පස්සේ රටට උරුම වුණේ ඒකයි. රටේ අයිතිකාරයෝ එන්නේ සම්තින් එකක් හොයාගන්න ඕන වෙලාවට විතරයි. නමුත් රටට දැන් අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ජීවගුණය තියෙන ශක්තිමත් අනුහාසාත්මක නායකයෙක්.

එහෙම නායකයෙක් ඉන්නවද? එජාපය ඇතුළේ නම් පේන්න නැහැ?

ඒක වෙන්නේ අපේ පක්ෂයට තියෙන චෝදනා නිසයි. අපි බලයට ආවේ හොරු අල්ලනවා කියා. ඇල්ලුවේ නැහැ. අපේ ආණ්ඩුව යටතෙත් එසේම හොරකම් කළා. වංචා දූෂණ වුණා. මහ බැංකු චෝදනාව ආවා. පෙළක් ඒවා දේශපාලනඥයන් කරනවා. පෙළක් ඒවා නිලධාරීන් කරනවා. මම ඒවාට විරුද්ධව අරගල කරනවා.

ඔබ අරගල කළාට ප්‍රතිඵල නෑනේ?

ත්‍රිවිධ හමුදාවට ආහාර දීමේ කොන්ත්‍රාත්තුව, ත්‍රිවිධ හමුදාවේ තේ කොළ වංචාව ගැන මම ඉදිරිපත් කළා. මේ වංචාව කරන නිලධාරි කල්ලිය ලොකු මුදලක් කොමිස් ගැහුවා. පොඩි නිලධාරියෙක් අල්ලස් ගත්තා නම් ඒ මනුස්සයාගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ කරලා කරන්න පුළුවන් හැමදේම කරනවා. මම මේ ගැන ජ්ඛ්ධ්ච් ට ගියා. ජනාධිපතිතුමාට කිව්වා. අගමැතිට කියලත්, ආරක්ෂක ලේකම්ට සාධක ඇතිව ඔප්පු කරලත්, කැබිනට් එක තුළත් කතා කළත් ඒ වංචාව ඒ විදියටම වෙනවා. මේ වස්ත්‍ර ඇඳන් මේ ආණ්ඩුවේ ඉන්න එකත් ලැජ්ජයි. මොකද අපි මේ ආණ්ඩුව හැදුවේ ඔය වාගේ කුපාඩි වැඩ කරන්න නෙමෙයි. හම්බ කරන නිලධාරීන් හදන්න නෙමෙයි. මේ වංචා පිටුපස දේශපාලනඥයන් ඉන්නවාද කියන එක ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. බිලියන 2ක් කියන්නේ සෙල්ලම් ගාණක් නෙමෙයි. මුළු රටේම සමෘද්ධිය මේ මුදලින් වැඩි කරන්න තිබ්බා. මුළු රටේම දරුවන්ට පාසල් ඇඳුම්වලට යන්නේ බිලියන 9යි. මේ වගේ වංචාවක් මේ වාගේ හොරකම් අපේ ආණ්ඩුව යටතේ මහ දවල් වෙනවා. අපි අරගල කළා. කතා කළා. හැබැයි සියලු දෙනා නිදිගතවෙලා. මේවා ගැන විභාග පවත්වද්දී ටෙන්ඩර්වලට අස්සන් කරලා ඒ ටෙන්ඩර් ලබාදෙනවා. මේ ආණ්ඩුව තුළ ඉඳලත් මේ වාගේ වැඩ වෙනකොට අපිට තියෙන්නේ කලකිරීමක්, ලැජ්ජාවක්. ගංවතුර සිද්ධිය බලන්න. අපි ගංවතුර ඇවිත් අවුරුද්දක් ගියාම තමයි චෙක්පත් ලබා දෙන්නේ. මීතොටමුල්ලට ගෙවීම් හරියට වෙලා නැහැ තවම.

විෂය භාර ඇමැතිවරු ඉද්දි මෙහෙම වෙන්න හේතුවක් තියෙනවාද?

සමහර කාරණාවලදී සමහර කාරණා ගැන අපි චෝදනා කරපුවා දැන් අපිම කරනවා. මහින්ද මහත්තයාගේ කාලයේ අපි චෝදනා කළා මාධ්‍යවේදීන්ට ගැහුවා, මාධ්‍ය ආයතනවලට ක්ලේමෝ ගහලා ගිනි තිබ්බා, කොණ්ඩ කැපුවා, අතපය කැඩුවා කියා. නමුත් අපි බලයට ඇවිත් පැය කිහිපයක් යන්න ඉස්සර සිරස රූපවාහිනිය ඉස්සරහ ජෝගි නටනවා. මේවා හරි වැඩද තුප්පහි වැඩද? ටී.එන්.එල්. පොල්ගහවෙල විකාශනාගාරයට ඉතා කැත විදියට මැදිහත්වෙලා ගත්ත ක්‍රියාමාර්ග ගැන අපි ලැජ්ජා වෙනවා. චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ රහස් පොලිසියේ නිලධාරියෙක් ආයතනයකට කඩාගෙන පැනලා පිස්සුවක් නැටුවා. ජනවාරි 8 බලය ගත්තේ මෙහෙම කරන්න නෙමෙයි. මේ විදියට ගියොත් අපට මොකද වෙන්නේ. ජේ. ආර්. මහත්තයා එදා ධර්මිෂ්ට සමාජයක් කියා ආවා. 88 වනවිට එතුමාට ධර්මිෂ්ටර් කියලා කොලොප්පම් කළා. ධර්මිෂ්ට සමාජය කියන වචනය එදා බොරුවක් වුණා වගේ යහපාලනය කියා අපිත් හරි ක්‍රියාමාර්ග නොගත්තොත් ඒ අය කරන වැරැදිවලට වන්දි ගෙවන්න වෙනවා. ඒකයි අපි ඒකට වේවැල් පහර ගහන්නේ. මෙහෙම ගිහින් 2020 වනවිට යහපාලනය කියන වචනය විහිළුවකට ලක්වෙනවා.

වැරැදිවලට පැමිණිලි කරන්නට ජ්ඛ්ධ්ච් එක, අල්ලස් කොමිසම තියෙනවා. නමුත් ඒවායේ කාර්යය බොහෝ ප්‍රමාදයි ඒ ඇයි?

විමල් වීරවංශ මහතා නිවාස ඇමැති කාලේ ඒ අමාත්‍යාංශයේ සිදුවූ අක්‍රමිකතාවක් ගැන අල්ලස් කොමිසමට භාරදුන්නා 2015දී. නමුත් අද වනතෙක් පැමිණිල්ල භාරගත්තා කියා ලිපියකින් දැනුම්දීලා නැහැ. මාතර නගරයේ විදුහල්පතිවරු ගැන අක්‍රමිකතා ෆයිල් දුන්නා. වුණ දෙයක් නැහැ. ආහාර ටෙන්ඩර සහ සපත්තු ටෙන්ඩරය, තේකොළ ගැන ටෙන්ඩරය ගැන ෆයිල් දුන්නා. වුණ දෙයක් නැහැ. මේවා මෙහෙම වෙන්න බැහැ. අපට දුවන කෝච්චියට බෙල්ල තියන්න බැහැ. එක පැත්තකින් මේක අපේම ආණ්ඩුවක් නෙමෙයි. මේක හවුල් ආණ්ඩුවක් අස්සේ ගමන වෙනස්.

එජාපයේ අය කියන්නේ මේක එජාප ආණ්ඩුවක් කියලනේ?

මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. මේක හවුල් ආණ්ඩුවක්. මේක තනි එජාප ආණ්ඩුවක් කියන්න මම පටු වෙන්නේ නැහැ. මම පක්ෂය රකිනවා. පාක්ෂිකයෝ රකිනවා. හැබැයි මේ වංචා දූෂණ කරන හවුල් ආණ්ඩුවට රිද්දනවා. පක්ෂයයි, පාක්ෂිකයයි රකිනවා කියන එක එකක්. හවුල් ආණ්ඩුව රකිනවා කියන එක වෙන එකක්.

මේ විදියට යනවිට 2020 දී ඔබේ නායකයා රටට ගැළපෙන කෙනෙක් වෙයිද? ඔබ රටේ ඉදිරි නායකයෙක් බිහි විය යුත්තේ කෙසේද කියා කිව්වා. ඒ කාරණා සමඟ ඔබේ නායකයා සැසඳිය හැකිද?
2020දී ජනාධිපති මැතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය තමයි දැන් හැමෝගේම ඉලක්කය. අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. ඒ තුළ විධායක ජනාධිපති ක්‍රමය ගැන අවසන් නිගමනයකට එළැඹිලා නැහැ. එනිසා 2020ට සමහරු ජනාධිපති අපේක්ෂකයෝ පත් කරගෙන. සමහරු 2020ට ජනාධිපති අපේක්ෂකයෝ වෙන්න සිහින මවනවා. නමුත් දැන්ම ඒක කියන්න කල් වැඩියි. 2015 මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා වෙනකම් කවුරුත් ඒ ගැන විශ්වාස කළේ නැහැ. ඒ වගේ 2020ටත් අවශ්‍ය නායකයෙක් අපෙන් එයි. ඒ සිද්ධි ගැන දැන්ම හිතන්න කල් වැඩියි.

උමුටාගැනීම-maubima