මුග්ධ ප්‍රකාශයක් විග්නේෂ්වරන් කර ඇත

මුග්ධ ප්‍රකාශයක් විග්නේෂ්වරන් කර ඇත

SHARE

 

විජයකලාගේ මුග්ධ ප්‍රකාශය අනුමත කළ විග්නේෂ්වරන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ අමනෝඥ ප්‍රකාශය අනුමත කරමින් ඊටත් වඩා අමනෝඥ හා දුෂ්ට, මුග්ධ ප්‍රකාශයක් උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන් කර ඇත. එම ප්‍රකාශය ද විජයකලාගේ ප්‍රකාශයට දෙවැනි නොවේ. විජයකලාගේ ප්‍රකාශය රටේ බහුතර ජනමතය අනුමත නොකළාසේ ම මහඇමති විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ද මේ රටේ සිහි බුද්ධිය ඇති රටේ නීතිය සාමය ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙක් අනුමත කරන්නේ නැත. මෙයද පිළිකුලෙන් පමණක් නොව දැඩි කෝපයෙන් යුතුව හෙළා දැකිය යුතුය.

විග්නේෂ්වරන් මහඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාගේ කාලයේ දෙමළ ජනතාව බියෙන් සැකෙන් තොරව ජීවත් වූ බවයි. ඇත්ත කතාකළාට විජයකලා ඉවත් කිරීම අසාධාරණ බව විග්නේෂ්වරන් මහඇමතිවරයා ප්‍රකාශ කර ඇත. ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය යටතේ දෙමළ ජනතාවට අත්වූ බේදජනක ඉරණම පුනපුනා මතක් කර දියුයුතු නොවේ. තිස්වසරක ප්‍රභාකරන්ගේ මිනීමරු ජාතිවාදී බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් දෙමළ ජනතාව පමණක් නොව රටම විනාශයට හා අගාධයට ඇද දැමු ආකාරය ගැන අපේ රට පමණක් නොව මුළු ලෝකයම දනී. දෙමළ තරුණයන් කාන්තාවන් දරුවන් ත්‍රස්තවාදයට ඇදගෙන ගිය ආකාරයත් අවසානයේ සමස්ත දෙමළ සමාජයත් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ දේශපාලකයනුත්, බියවද්දමින් ප්‍රාණ ඇපකාරයන් බවට පත්කර ගත්බව කිසිවෙකුටත් අමතක නැත.

කුඩා දරුවන්ට පවා යුද අභ්‍යාස හා පුහුණුව ලබාදෙමින් පාසල් වලින් දරුවන් පැහැරගනිමින් එම දරුවන්ගේ කරේ සයනයිට් කරල් එල්ලා යුද බිමට දක්කාගෙන ගිය ඒ වියරු බිහිසුණු අඳුරු ඉතිහාසය දෙමළ සමාජයට අමතකව ඇතැයි අප නොසිතමු. දෙමළ සමාජයේ දියුණුව සංවර්ධනය හා ප්‍රගතිය පැත්තෙන් සියවසක් පසුපසට තල්ලු කරපු ඒ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදීයාගෙන් දෙමළ ජනතාවට රැකවරණයත් නිදහසත් ලැබුනේයැයි කවරෙක් හෝ ප්‍රකාශ කරන්නේ නම් එසේ ප්‍රකාශ කරන අයගේ මොළය පරීක්ෂා කර බලා අංගොඩ මානසික රෝහලට යැවිය යුතුය.

ගෙවීගිය වසර 05ක කාලය තුළ විග්නේෂ්වරන් මහඇමතිවරයා උතුරු පළාත් සභාව භාරදුන්නද දෙමළ ජනතාවගේ සුභසිද්ධිය, යහපත වෙනුවෙන් හා සංවර්ධනය වෙනුවෙන් ඔහු අබමල් රේණුවක දෙයක් කළේ නැත. ලැබුණු බලතල වලින් කිසිවක් නොකර තවත් බලතල ඉල්ලමින් කෑමොර දුන්නා පමණි. ඔහු කළේ තම තනතුර උපයෝගී කර ගනිමින් අන්තවාදයත්, ජාතිවාදයත් පතුරවමින් ගොඩනැගීමට තිබුණු ජාතික සංහිඳියාවට හරස් කැපීමය.
සිංහල විරෝධී, බෞද්ධ වීරෝධී ප්‍රකාශ නිකුත් කරමින් කටමැත දෙඩවීම පමණකි. මෙවැන්නෙක් රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා යැයි කියන්නටවීම ගැන සමස්ත විනිසුරුවරුන්ම ලැජ්ජාවට පත්විය යුතුය.

මෙලෙස දිගින් දිගටම කොටි හිතවාදීව බෙදුම්වාදයට පක්ෂව උතුරේ ඇතැම් අන්තවාදීන් රටේ ඒකීයභාවයට එරෙහිවත් සිංහල හා බෞද්ධ විරෝධීවත් ප්‍රකාශ නිකුත් කිරීම දේශපාලන විලාසිතාවක් බවට පත්වී ඇත. තවදුරටත් මෙය ඉදිරියට යන්නට ඉඩදුනහොත් කොටි සැමරුම,කළුකොටි සැමරුම් වලින් නතර නොවී ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් දක්වාම මෙය වර්ධනයවීමේ අවධානමක් ඇත. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය නිදහස අගයන දෙමළ සමාජයටත් එහි ප්‍රජාතන්ත්‍රවාදී ජනමත ප්‍රධානීන්ටත් නායකයින්ටත් බුද්ධිමතුන්ට හා කලාකරුවන්ට මෙයට එරෙහිව හඩ නැගීමේ වගකීමක් ඇත.

රජය මේ සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම හා එම ප්‍රකාශ ප්‍රමාණවත් බරකින් නොගැනීම පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල පළකර සිටින අතර රටේ ව්‍යවස්ථාවට හා නීතියට අනුව මේ සම්බන්ධයෙන් පියවර නොගතහොත් අනාගතයේ දී භායානක ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇත.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මැතිතුමා ඇතුළු දෙමළ ජාතික සංධානයට ද වගකීමක් ඇති අතර විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට එරෙහිවද පක්ෂයක් ලෙස දෙමළ ජාතික සංධානය විනයානුකූල පියවර ගතයුතුය. එසේම දෙමළ දේශපාලන නායකයින් රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය පිළිනොගන්නා තාක් සැබෑ සංහිඳියාවක් රටතුළ ගොඩනැගෙන්නේ නැත. විජයකලාගේ ප්‍රකාශය අනුමත කරමින් විග්නේෂ්වරම් මහඇමතිවරයා කරඇති මුග්ධ අමන ප්‍රකාශය අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් වහාම රටේ ව්‍යවස්ථාව හා නීතියට අනුකූලව පියවර ගන්නා මෙන් බලකර සිටිමු.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
ජාතික සංවිධායක ජාතික හෙල උරුමය