මහින්ද රාජපක්ෂ යනු රටට වැඩ කළ නායකයක් – නවීන් දිසානායක

මහින්ද රාජපක්ෂ යනු රටට වැඩ කළ නායකයක් – නවීන් දිසානායක

SHARE

මහින්ද රාජපක්ෂ යනු රටට වැඩ කළ නායකයකු බවත් යුද්ධය අවසන් කළ බව පිළිගන්නා අතර ඒ මහතාට මේ දිනවල චෝදනා එල්ල වී තිබෙන ඩොලර් මිලියන 7.6ක මුදල ලබාගත්තේ නැතැයි කියනවා නම් එය දිවුරුම් ප්‍රකාශයකින් දෙන්නේ නම් අපට විශ්වාස කළ හැකි යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ 02දා රාගල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේද කීය.

මේ දවස්වල කතා වෙන මාතෘකාවක් තමයි රාජපක්ෂ මහත්තයාට චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6ක් මැතිවරණ කාලේදී දුන්නා කියන එක. ඒ ප්‍රමාණය විශාල මුදලක්. එහෙනම් ඇයි මේ මුදල් චීන සමාගම විසින් රාජපක්ෂ මහත්තයට දෙන්නේ. අපිට එහෙම මුදල් හම්බවුණේ නෑ.

අද පොහොට්ටුවේ මාතෘකාව ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ ගෝඨාභය රාජපක්ෂද, චමල් රාජපක්ෂද, බැසිල් රාජපක්ෂද, ශිරන්ති මහත්මියද කියලා.

අපි මේ ගෝත්‍රවාදී දේශපාලනයෙන් මිදෙන්න ඕන. බය වෙන්න එපා. අපි නියම වෙලාවට අපේ අපේක්ෂකයා නම් කරනවා. අපිට දිනන්න පුළුවන් ජොකියො ඉන්නවා. කන්ද උඩරටිනුත් ජොකියෝ ඉන්නවා කියන එක මම කියන්න කැමැතියි. අපිට එහි කිසිම ගැටලුවක් නෑ. අපි එක පවුලකට ජනාධිපතිකම සීමා කරන්නේ නෑ.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති පුටුවේ තිබ්බේ පොහොට්ටුවේ කට්ටිය නෙවෙයි. එක්සත් ජාතික පාක්ෂිකයෝ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර යවලා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ පුටුවේ ඉන්දුවේ එක්සත් ජාතික පක්ෂයේ බලවේග කියලා මම කියන්න කැමැතියි.

මේ පක්ෂය කියන්නේ අපේ ජීවය. මේ පක්ෂය වෙනුවෙන් අපේ තාත්තලා ජීවිතක්ෂයට පත්වුණා. මේ පක්ෂය වෙනුවෙන් දිවිපූජා කළ අය තමන්ගේ පවුල ගොඩනඟන්න හැදුවේ නෑ.

අපි අනිවාර්යයෙන්ම ලබන මැතිවරණයට පෙර තමුන්නාන්සේලාට පොරොන්දු ඉෂ්ට කරන බව මම ප්‍රකාශ කරනවා.

සමහර අය මේ අවුරුදු දෙකහමාර තුළ මොනවද අපි කළේ අහනවා. සුදු වෑන් සංස්කෘතිය අහෝසි කළා. අද දේශපාලන නිදහස තියෙනවා. අද ඕනෑම දෙයක් කියන්න පුළුවන්. සුදු වෑන් ඇවිත් උස්සන් ගිහින් මරන්නේ නෑ. අද මාධ්‍ය නිදහස තියෙනවා. එදා ලසන්ත වික්‍රමතුංගලා අමු අමුවේ ඝාතනය කළා. බැඳුම්කරය ගැන කතා කරනවා. ඒ තුළ හොරකමක් වුණා කියලා අපි දන්නවා. නමුත් අපි දන්නවා මේ ආණ්ඩුව විශේෂයෙන්ම ජනාධිපතිතුමා ජනාධිපති කොමිසමක් පත් කරලා අද ඒ බැඳුම්කරයේ ප්‍රධාන චූදිතයා හිරභාරයේ. තමුන්නාන්සේලා හිතනවාද රාජපක්ෂලාගේ ආණ්ඩුවක් තිබ්බා නම් එහෙම දෙයක් වෙයි කියලා නෑ.