බුදු සසුන බේරාගන්න මහ නා හිමිවරු ජනපතිගෙන් ඉල්ලති

බුදු සසුන බේරාගන්න මහ නා හිමිවරු ජනපතිගෙන් ඉල්ලති

SHARE

ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් ධර්ම විරෝධී මිථ්‍යා මත පැතිරවීමට අධර්මවාදී ගිහියන් හා සිවුරු පොරවා ගත් පුද්ගලයන් කටයුතු කරමින් සිටින බැවින් ඒවා වැළැක්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහ නා  හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද එම ලිපියේ මෙසේද සඳහන් වේ. ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය ද, තදනුබද්ධ ශාසන ඉතිහාසය හා චාරිත්‍රධර්ම සමුදාය ද, ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව වර්ෂ දෙදහසකට අධික කාලයක් තිස්සේ ජීවිත පරිත්‍යාගයෙන් ඇප කැප වූ බව ඓතිහාසික වශයෙන් තහවුරු වන කාරණයකි. පවිත්‍ර වූ උතුම් මුල් බුදු දහම වන ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් මුඛපරම්පරාගත ත්‍රිපිටක බුද්ධ භාෂිතය ප්‍රථම වරට ලේඛන ගතකොට තහවුරු කරන ලද්දේත්, දේශාන්තරයන්හි එය ව්‍යාප්ත කරන ලද්දේත්, ශ්‍රී ලංකාවාසී ගිහි පැවිදි පිරිස විසිනි. එසේම, බුදු දහම පදනම් කර ගත් ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් නිර්මාණය කිරීමට ද ලක්වැසියන් කටයුතු කොට ඇත. ඒ නිසාම ථෙරවාදී බුද්ධ ධර්මය පදනම් කරගත් ශ්‍රී සම්බුද්ධ ශාසනය හා පාලි භාෂාව සුරක්ෂිත කරන ධර්මද්වීපය වශයෙන් ශ්‍රී ලංකාව ද, ඒ සඳහා කටයුතු කරන ජනතාව වශයෙන් සිංහල ජාතිය ද බෞද්ධ ලෝකයේ ගෞරව සම්භාවනාවට ලක්ව ඇත.

එහෙත් වර්තමානයේ ගිහි පැවිදි කීප දෙනකු විසින් මෑතක සිට සංවිධානාත්මකව හා සූක්ෂ්මව ධර්මවිනයට පටහැනි, ශාසන විරෝධී ක්‍රියාකාරකම් රාශියක් සිදු කරගෙන යනු ලැබේ. ඔවුහු ත්‍රිපිටක සූත්‍ර ධර්මවලට හා වචනවලට අත්තනෝමතික ලෙස විකෘති අර්ථකථන ඉදිරිපත් කරමින් බුද්ධ ධර්මය ද, දිවයිනේ නොයෙකුත් ස්ථාන නාමයන්ට පදනම් විරහිත කරුණු හා අදහස් බද්ධ කොට බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය වෙනස් කරමින් ද මිත්‍යා සංකල්ප හා දෘෂ්ටිවාද බෞද්ධ සමාජය පුරා පතුරුවති. අර්හත්වය, සෝතාපන්න භාවය වැනි උත්තරී මනුස්ස ධම්ම තමන් තුළ ඇතැ යි ඔවුන් පැවසීම භික්ෂුත්වය අහිමි වන පාරාජිකාවකි. මොවුන්ගේ ධර්මවිනයට පටහැනි දේශනා හේතුවෙන් ඇතැම් බෞද්ධයන්ගේ සිත්සතන් දූෂිතව, තෙරුවන් පිළිබඳ සැදැහැව හීන වන බවක් පෙනී යයි. ශ්‍රී සම්බුද්ධ දේශනාව, පාලි භාෂාව, බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, බෞද්ධ චාරිත්‍ර ධර්ම, සංස්කෘතික ලක්ෂණ හා ඓතිහාසික බෞද්ධ පූජනීය ස්ථාන පිළිබඳ ගෞරවය දැඩි ලෙස කෙලෙසෙයි.

ශ්‍රී සම්බුද්ධ ශාසනයට එල්ල වී තිබෙන තර්ජනය වළක්වා ගැනීමට අපේ ධර්ම විනයධර, ශාසනමාමක භික්ෂුන් වහන්සේලා බෞද්ධ ජනතාව දැනුවත් කරමින් ද, නෛතික වශයෙන් ද විවිධ අවස්ථාවල කටයුතු කරති. නමුත් විවිධ විෂය හා වෘත්තීය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය තිබුණත්, ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති බෞද්ධයෝ මිත්‍යා මතවාද පිළිගෙන මුළාවට පත්වෙති.

මේ තත්ත්වය නිසා මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය කාරක සභ සභික නායක ස්ථවිරපාදයන් වහන්සේලා, විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන්පති නායක ස්ථවිරපාදයන් වහන්සේලා සහ ධර්මධර භික්ෂුන් වහන්සේලා රැස්ව පහත සඳහන් කරණු කෙරෙහි අපේ මහා සංඝයා වහන්සේ මෙන්ම රජයේ සහ බෞද්ධ ජනතාවගේ අවධානය යොමු කරවීමට ද, ඒ අනුව කටයුතු කරන ලෙස දැනුම්දීමට ද තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා රජය හා ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින් විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු 

01. ථෙරවාදී පාලි ත්‍රිපිටක ග්‍රන්ථ, අට්ඨකථා හා ටිකාවන්හි අර්ථ විකෘති වන පරිදි ඒවායෙහි පෙළ වෙනස් නොකළ යුතු ය. දේශනා මගින් හෝ ලිඛිතව ධර්ම කරුණුවලට හා වචනවලට අර්ථ හා විවරණ සැපයීමේදී සම්ප්‍රදායික හා සම්මත ව්‍යාකරණ නිරුක්ති ක්‍රමය භාවිත කළ යුතුය. ශ්‍රී සද්ධර්මය පිළිබඳ හා ගැඹුරු සිද්ධාන්ත විග්‍රහ කිරීමේදී ඒවා හෑල්ලුවට ලක්කෙරෙන හාස්‍යෝත්පාදක වූ ද, ග්‍රාම්‍ය වූ ද, අර්ථ ශූන්‍ය වූ ද වචන භාවිතයෙන් වැළකිය යුතුය.

02. ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ ද, සයිමන් හේවාවිතාරණ අරමුදල මගින් ප්‍රකාශිත අට්ඨ කථා සහ ටීකා ග්‍රන්ථ ද, බි්‍රතාන්‍යයේ පාලි ග්‍රන්ථ සමාගම :ඡ්කස ඔැංඑ ීදජසැඑහ* විසින් මුද්‍රිත ත්‍රිපිටක ග්‍රන්ථ ද, ධර්ම දේශනාවල දී හා ධර්මය හැදෑරීමේ දී මූලාශ්‍ර ග්‍රන්ථ වශයෙන් පිළිගෙන භාවිත කළ යුතුය.

03. ධර්ම විරෝධී ක්‍රියාකලාපය නිසා භික්ෂු භාවයෙන් නෙරපූ මීවනපලානේ ධම්මාලංකාර හෙවත් පන්සල්හේනේ ධම්මාලංකාර නමැති භික්ෂු වේශධාරී තැනැත්තා විසින් ද, වහරක අභයරතනාලංකාර නමැති භික්ෂුවගේ අනුගාමිකයන් විසින් ද, විවිධ මාධ්‍ය භාවිත කරමින් පතුරුවනු ලබන මතවාද හා අරුත් විවරණ බුදු දහමට පටහැනි බැවින් ඒවාට මුළා නොවී ගිහි පැවිදි සියලු දෙනාම සත්‍ය ධර්මයෙහි පිහිටා ක්‍රියා කළ යුතුය.

04. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය පවතින කිසිදු රටක උපසම්පදා සීලයෙහි පිහිටි භික්ෂුණීන් හෝ එයට සමාන වෙනත් නාමයකින් හැඳින්වෙන කාන්තා පැවිදි පිරිසක් දැනට දක්නට නොමැති නිසාත්, ථෙරවාදී ධර්ම විනයට අනුව කාන්තාවන් පැවිදි කිරීමට හැකියාවක් ද නොමැති නිසාත්, එයට හේතු කාරණා ධර්ම විනයධර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා නිරතුරුව පැහැදිලි කර දී තිබෙන නිසාත්, අනගාරික කාන්තාවන් උදෙසා භික්ෂුණී නාමය නීත්‍යානුකූල ලේඛනයන්හි භාවිත කිරීම ශ්‍රී ලංකා රජය හා අනුබද්ධ ආයතන විසින් නොකළ යුතුය.

05. ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ රාජ්‍ය වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කොට, ඒවා සුරක්ෂිත කිරීමට රජය විසින් වහාම නීතිමය ප්‍රතිපාදන සකස් කළ යුතුය.

06. බෞද්ධ ජනතාව අතර අසමගිය, වාදභේද හා ගැටුම්කාරී අහිතකර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමෙන් ජාතිය දුර්වල කොට දේශය අස්ථාවර කිරීමේ බලවේග මේ තුළින් ක්‍රියාත්මක වන බවක්ද පෙනී යයි. එම නිසා අධර්මවාදී ගිහියන්ට හා සිවුරු පොරවාගත්  පුද්ගලයන්ට විහාරස්ථානවල දේශන පැවැත්වීම සඳහා ඉඩ නොදීමට භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධයන් වගබලා ගත යුතුය.

උභය මහා විහාරීය කාරක සංඝසභික නායක ස්ථවිරපාදයන් වහන්සේලා, විද්‍යෝදය හා විද්‍යාලංකාර මහ පිරිවෙන්පති නායක ස්ථවිරපාදයන් වහන්සේලා ඇතුළු ධර්මධර භික්ෂූන් පිරිසක් විසින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා යෝජිත ඉහත සඳහන් කරුණු වහාම ක්‍රියාත්මක කළ යුතු යැයි අපි ද අනුමත කරන්නෙමු.

එබැවින් ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් බුද්ධශාසනය ආරක්ෂා කිරීම සඳහා පැවරුණ වගකීම අනුව ඉහත කරුණු ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙසද බුදුරදුන් ලක්දිව ඉපදුන බවට හා ධර්ම විරෝධී විවිධ මිත්‍යා මතවාද පතුරුවන පුද්ගලයන් රාජ්‍ය ආයතනවල දේශනා පැවැත්වීම හා ඒ සම්බන්ධ කටයුතුවල යෙදීම වළක්වන ලෙසද ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන රජයට කරුණාවෙන් සිහිපත් කරමු.

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව අතර සාමය හා සමගිය පවත්වා ගැනීම සඳහා සෑම අවස්ථාවකම බුද්ධිමත්ව කටයුතු කරන ලෙස අපගේ භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධ ජනතාවට ශාසනාලයෙන් විශේෂයෙන් සිහිපත් කර සිටිමු.