“බුදු දහම සහ සංහිදියාව” – 2 කොටස – සිංහල බෞද්ධයා ජතිවාදීද?

“බුදු දහම සහ සංහිදියාව” – 2 කොටස – සිංහල බෞද්ධයා ජතිවාදීද?

SHARE

භරු ජාතකය අපට කියන කතාව


 ඉසීනමන්තරං කත්වා භරුරාජාති මෙ සුතං,

උච්ඡින්නො සහ රට්ඨෙන ස රාජා විභවං ගතො

තස්මා හි ඡන්දා ගමනං නප්පසංසන්ති පණ්ඩිතා,

අදුට්ඨචිත්තො හාසෙය්‍ය ගිරං සච්චූපසංහිතං.

භරු රජතුමා ඍෂිවරුන්ට අනතුරක් කොට රාජ්‍යය සමඟ නැසෙමින් ඒ රජ විනාශයට ගියේ යයි මා විසින් අසන ලදි.

ඒ නිසා ඡන්දයෙන් අගතිගාමී ව ක්‍රියා කිරීම නුවණ ඇත්තෝ නො පසසත්. ද්වේෂයෙන් දූෂිත නො වූ සිත් ඇත්තා සත්‍යයෙන් යුතු වචන කියන්නේ ය.

(භරු ජාතකය : ජාතකපාළි : දුකනිපාත : ඛීරණත්ථම්භකවග්ගය)

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් කොසොල් රජු අරභයා මේ භරු ජාතකය දේශනා කොට වදාළ සේක.

එහි වර්තමාන කතාව මෙසේ දත යුතු යි. බුද්ධසාසනය ක්‍රමයෙන් වැඩී යත් ම බුදුරජාණන් වහන්සේටත්, භික්ෂු සඞ්ඝයාටත් වැඩිපුර ලාභසත්කාර ලැබෙන්නට විය. එබැවින් ගරුකාර වන්දන මානන පූජාදියෙන් මතු නො ව, සිවුරු පිණ්ඩපාත ගිලන්පස පරිෂ්කාර සේනාසනාදියෙන් පවා භික්ෂු සඞ්ඝයා බෙහෙවින් අභිවෘද්ධියට පැමිණියේ ය. මෙසේ ජනයෝ බුදු සස්නෙහි පැහැදෙත් ම අන්‍ය තීර්ථකයන්ගේ ලාභ සත්කාර බෙහෙවින් පිරිහී ගියේ ය. ඔවුහු පිරිහුණු ලාභසත්කාර ඇත්තාහු රාත්‍රියෙහි ද දහවලෙහි ද රහසේ රැස් ව මෙසේ සාකච්ඡා කළෝ ය. “ශ්‍රමණ භවත් ගෞතමයන් පහළ වූ තැන් පටන් අපි ලාභ සත්කාරයෙන් පිරිහුණෙමු. ශ්‍රමණ භවත් ගෞතමයෝ ම ලාභසත්කාරයෙන් යසසින් අගතැන් වූහ. කුමන හේතුවකින් එසේ වූයේ ද?” යි.

එවිට ඔවුන්ගෙන් ඇතැමෙක් මෙසේ කීයේ ය. “ශ්‍රමණ භවත් ගෞතමයන් වාසය කරන්නේ මුළු දඹදිවින් ම උතුම් පෙදෙසක ය. ඒ නිසා ම ශ්‍රමණ ගෞතමයන්ට බෙහෙවින් ලාභ සත්කාර උපදින්නේ ය. මෙය නම් ඒකාන්තයෙන් ජේතවනාරාමය පිහිටි භූමියේ භූමිලාභයක් ම විය යුතු ය.” එකල්හි තවත් කෙනෙක් මෙසේ කීයේ ය. “ඒ කතාවෙහි ඇත්තක් ඇත. අපිත් ජේතවනාරාමය පිටුපස තීර්ථක ආරාමයක් කරවමු. එවිට අපටත් බොහෝ ලාභසත්කාරපිරිකර ලැබෙති.”

“යම් හෙයකින් අපි රජතුමාට නො දන්වා ජේතවනාරාමය පිටුපස ආරාමයක් කරවන්නෙමු නම් ඒකාන්තයෙන් භික්ෂූහු අප වළක්වන්නාහ. එබැවින් පළමු කොට රජතුමාට අල්ලස් දී එතුමා අප කෙරෙහි නම්මවා ගනිමු. එකල්හි භික්ෂූන්ගේ විරෝධය නිෂ්ඵල වන්නේ ය. අපගේ අභිප්‍රාය සමෘද්ධ වන්නේ ය.”

ඔවුහු එසේ කතිකා කොට කොසොල් රජ හමු වී කහවණු මසුරන් ලක්ෂයක් අල්ලස් වශයෙන් දී (තෑගි කොට) ස්වකීය අභිප්‍රාය දැක්වූහ. “මහරජතුමනි, අපි ජේතවනාරාමය පිටුපස තීර්ථක ආරාමයක් කරවන්නෙමු. ඉදින් භික්ෂූහු එය කරන්නට නො දෙමු යි ඔබට කියත් නම්, ඔවුන්ට පිළිතුරක් නො දිය යුතු යයි” කීවාහුය.

කොසොල් රජ අල්ලසෙහි ලොල් වී තීර්ථකයන්ගේ බස යහපතැ යි පිළිගත්තේ ය. තීර්ථකයෝ රජුට බොහෝ සෙයින් සඞ්ග්‍රහ කොට වඩුවන් කැඳවා වැඩ පටන් ගත්තෝ ය. මහත් ඝෝෂාවකි; අරගලයකි. බුදුරජාණන් වහන්සේ ඒ මහත් වූ අරගල අසා අනඳ තෙරුන් විචාළහ. “ආනන්දය, ඒ මහත් ඝෝෂාව කුමක් ද? කුමන අරගලයක් ද?” “ස්වාමීනි, අන්‍ය තීර්ථකයෝ ජේතවනාරාමය පිටුපස තීර්ථක ආරාමයක් කරවති. මේ එහි ඝෝෂාව යි.” ඒ බව අසා බුදුරජාණන් වහන්සේ :

“ආනන්දය! මේ ස්ථානය තීර්ථක ආරාමයකට කිසි සේත් ම නුසුදුසු යි. තීර්ථකයෝ උස් හඬින් කතා කරනු කැමැත්තෝ ය. ඔවුන් සමඟ එකට වාසය කළ නො හැක්කේ ය.” ඉක්බිති භික්ෂු සඞ්ඝයා රැස් කරවා “මහණෙනි, යව. රජුට කියා තිර්ථක ආරාමය තැනීම වළක්වව යි වදාළ සේක.”

භික්ෂූහු ගොස් කොසොල් රජුගේ මාළිගයේ දොරටුව අසල වැඩසිටියහ. රජතුමා සඞ්ඝයා පැමිණි බව ඇසුවේ නමුදු, ඒකාන්තයෙන් තීර්ථකාරාමය නිසා එන ලදැ යි සිතා අල්ලසින් මැඬුණේ තමා මාළිගාවේ නැතැ යි දන්වා යැවූහ. භික්ෂූහු ගොස් එපවත් ශාස්තෲන්වහන්සේට සැලකළෝය. බුදුහු රජ්ජුරුවෝ අල්ලස් කා මෙසේ කරති යි දැන “එසේ නම් සැරියුත්-මුගලන් දෙනම යව ව” යි අගසවු දෙනම යැවූ සේක. උන්වහන්සේලාගේ පැමිණීම දැන රජ තෙමේ දෙවන වර ද තමන් රජ ගෙයි නැතැ යි දන්වා යැවූය. උන්වහන්සේලා පෙරළා ජේතවනාරාමයට වැඩම කොට බුදුරජාණන් වහන්සේට එබැව් කීවාහුය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජ දැන් බැහැර යෙති යි භික්ෂූන් නිමන්ත්‍රණය කරවා පසු දා උදෑසනින් ම හැඳ පොරොවා පාසිවුරු රැගෙන රහතුන් පන්සියයක් පිරිවරා ගෙන රජ ගෙට වැඩි සේක. ගොස් මාළිගාවේ දොරටුව අසල වැඩහුන්හ. රජතුමා බුදුන් වැඩි බව අසා ප්‍රාසාදයේ උඩුමහලින් බැස අවුත් වැඳ පාත්‍රය අතට ගෙන ශාස්තෲන්වහන්සේ රජගෙට වැඩමවා, බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සඞ්ඝාට කැඳ හා කැවිලි වර්ග වළඳවා බුදුන් වැඳ එකත්පසෙක හුන්හ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනය ආරම්භ කරමින් “පෙර රජවරු අල්ලස් ගෙන සිල්වතුන් අතරෙහි ඔවුනොවුන් භේද කරවා කෝලාහල ඇති කොට රජකමත් අහිමි කොට ගෙන රටවැසියන් සමඟ ම මහාවිනාශයකට පත්වුහ” යි වදාරා භරු ජාතකය නම් වූ මේ අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක.

ඒ කෙසේ ද යත්?

යටගිය දවස භරු රටෙහි භරු නම් රජෙකු රාජ්‍ය කරවීය. එකල බෝසතාණන් වහන්සේ පඤ්ච අභිඤ්ඤා අෂ්ට සමාපත්ති ලාභී ව පන්සියයක් තාපසඍෂීනට නායක ව හිමවත් පියසෙහි වෙසෙන්නාහ. වස් කාලය එළැඹි කල්හි ලුණු ඇඹුල් සෙවීම පිණිස පන්සියයක් තාපසවරුන් පිරිවරා හිමාල වනයෙන් බැස ඒ ඒ තැන සැරිසරා වඩින සේක්, පිළිවෙලින් භරු නගරයට පැමිණ, එහි පිඬු සිඟා හැසිර, යළි නුවරින් නික්ම උතුරු දොරටුව අසල අතුපතර හොඳින් අතුපතර විහිදුණු නුග ගස් මුල හිඳ දන් වළඳා, ඒ ගස මුල ම වාසය කළේ ය. ඒ ඍෂිවරු එහි පැමිණ අඩමසක් ගිය තැන තවත් තාපසඍෂිවරයෙක් පන්සියයක් පමණ වූ ස්වකීය අනුගාමික තාපසවරුන් පිරිවරා භරු ජනපදයට ම එනුයේ පිඬු සිඟා ඇවිද නුවරින් නික්ම දකුණු වාසල් දොර සමීපයෙහි වූ එවැනි ම නුග ගසක් මුල හිඳ දන් වළඳා එහි ම වාසය කරන්නේය. මෙසේ ඔවුහු දෙගොල්ලෝ ම කැමතිතාක් භරු නගරයෙහි වැස වස් කාලය නිමා වූ කල්හි ආපසු හිමාල වනයට ම ගියෝ ය. ඔවුන් පිට ව ගිය කල්හි දකුණු දිග වාසල් දොර සමීපයෙහි වූ නුගරුක වියලී ඉදිරී වැටුණේ ය.

දෙවන වාරයෙහි එන කල්හි පළමු වාරයෙහි දකුණු දොරටුවෙහි නුග ගස මුල සිටි අය පළමු ව අවුත් තමන්ගේ නුග ගස වියලී ගිය බව දැන පිඬු සිඟා හැසිර නුවරින් නික්ම උතුරු දොරටුව අසල නුග ගස යටට ගොස් දන් වළඳා එහි වාසය කළෝ ය. බෝසත් තාපසයා ඇතුළු තවුස් පිරිස පසු ව ආවාහුය. ඔවුහු සුපුරුදු පරිදි පිඬු සිඟා හැසිර දන් වැළඳීම පිණිස පළමු වාරයෙහි හුන් නුග ගස මුලට ගියෝ ය. එහෙත් අනෙක් තවුසෝ එය අත්කරගෙන සිටිනු දැක “අපි පළමු මුරයේ හුන් නුගගස තෙපි කුමක් හෙයින් අත්කර ගත්තාහු දැ?”යි උන් හා දබර කළාහුය. අනෙක් තාපස පිරිසත් “මෙවර අපි ම පළමු කොට ආවෙමු. දැන් අපි ගස මුල නාරිම්හ”යි කියා කලහයට පිවිසියහ. මේ ආකාරයෙන් තාපසඍෂීන් දෙපක්ෂය අතර හටගත් දබරය කෝලාහලය විශාල එකක් විය. අවසානයේ විසඳුමක් අපේක්ෂාවෙන් දෙපක්ෂය ම රජ්ජුරුවන් කරා ගියෝ ය.

රජ්ජුරුවෝ කාරණාකාරණ විමසා බලා යුක්තිය පසිඳලන්නාහු පළමු මුරයෙහි විසූ ඍෂි සමූහයා ම නුග රුක මුල හිමිකරුවන් කළේය. එකල්හි අන්‍ය ඍෂි ගණයා “කිම? පැරදෙමු ද? අපිත් අපගේ බලය පෙන්වමු. නුග රුක මුල අයිතිය අප හට යයි රජු ලවා ම කියවමු” යි දිවැසින් බලා සක්විති රජවරුන් විසින් පරිහරණය කරන ලද එක් රිය මැදිරියක් මවා රජ්ජුරුවන්ට අල්ලස් කොට දී “මහරජ, අපවත් නුගරුක මුල අයිතිකරුවන් කරව” යි යැද්දෝ ය. රජතුමා අල්ලස් ගෙන “දෙ පිරිස ම වසත්වා” යි දෙ පිරිස ම අයිතිකරුවන් කළේ ය. එවිට අනික් ඍෂිවරු “රජතුමනි, අප ම අයිතිකරුවන් කරව” යි කියා ඒ රිය මැදිරියට රන් රෝද මවා අල්ලස් කොට දුන්හ. එවිට රජු අල්ලසෙහි ලොල් ව එසේ ද කළේ ය.

මෙසේ ඒ තාපසවරු උනුන් බොහෝ අඩදබර කොට අන්තයෙහි මෙසේ සිතූහ. “අපි වස්තුකාමයන් ද, ක්ලේශකාමයන් ද හැර දමා පැවිදි වූයෙමු. එසේ වූ අපි ගස්මුලක් නිසා කළහ කරමින් අල්ලස් දෙමින් අයුතු ක්‍රියාවක් කළෙමු. එයින් අපට වූයේ මහා නපුරකැ” යි. බොහෝ පසුතැවිලි වූ ඔවුහු ඉක්මණින් පලාගොස් හිමවතට ම ගියාහුය.

එකල්හි භරු රටවාසී සියලු දේවතාවෝ එකතු වී “සිල්වතුන් ලවා කහල කරවූයේ මේ රජතුමා නො වෙද? අල්ලස් ගෙන ඔහු සිදු කළේ අයුක්තියෙකැ” යි කිපී යොදුන් තුන්සියයක් පමණ වූ භරු රට මුහුද උතුරුවා රජ්ජුරුවෝ රට රටවැස්සන් සමඟ ම මුළු භරු රට ම විනාශයට පැමිණවූහ.

බුදුරජාණන් වහන්සේ “එකල ප්‍රධාන ඍෂිවරයා මම් වීමි” යි පූර්වාපර සන්ධි ගළපා අන්තයෙහි කොසොල් රජ හට අනුශාසනා කරන්නාහු, “රජතුමනි, ඡන්දයෙන් අගතිගාමී නො විය යුතු යි. පැවිද්දන් ලවා කලහ ඇති කරවීම නො වටිනා දෙයකි” යි වදාළහ. එහි දී භරු රජුගේ ඒ අල්ලස් ගැනීම අයුක්තියකි යි යමෙක් ප්‍රතික්ෂේප කරමින් සත්‍යයෙන් යුතු වචන කීවාහු ද, නාළිකෙර දීපයෙහි (පොල් දිවයිනේ) ඔවුන් සිටි තැන අදත් දිවයින් දහසක් පෙනේ යයි කියනු ලැබේ.

අවධානයට හා විමසුමට….

  • භරු රජුගේ පළමු විනිශ්චය යුක්තිසහගත ය. එය එක්තරා විධියකින් භූමියෙහි උරුමය එහි මුල් වාසකරුවන්ට ම ය යන පුරාතන දේශපාලන මූලධර්මය පිළිබඳ නීතිමය තහවුරුවකි. භරු රජතුමා එම පිළිගැනීම නො සලකා හරින්නේ අල්ලසට ගිජු වීමෙනි. එය පිළිගත් රාජධර්මයට පටහැනි ය. එහෙයින් රජුගේ අධාර්මිකත්වය හා බලලෝභීත්වය පෙර සිරිත බින්ඳේය.

 

  • ආගමික අසමඟිය රටකට හොඳ නැත. ඡන්දයෙන් අගතියට ගිය බලකාමී පාලකයෝ එය තමන්ගේ පටු වාසියට හරවා ගනිති. එහෙයින් ම ඔවුහු එකී අසමඟිය නිර්මාණය කරවීමෙහි ලා උත්සුකව ම ක්‍රියා කරති. පැවිදි පිරිස් පාලකයන්ගේ මේ ලාමක අදහස් දැන හැඳින සිය සීලයෙහි පාරිශුද්ධිය රැකගෙන මුග්ධ ක්‍රියාවන්ට නො එළැඹිය යුතු ය. භරු ජාතකය අවසානයේ දේවතාවන් විසින් මහමුහුද උතුරුවා භරු රටට කරන විනාශය වත්මන් සමාජය යොමු ව ඇති අගතියේ අවසානය පිළිබඳ සංකේතයකි.

 

  • බුදුසස්නට එරෙහි ව තීර්ථකයන්ගේ බලපෑම් අද මෙන් ම එදත් පැවැතියේ ය. එබඳු අවස්ථාවල දී තීර්ථක බලයට බුදු සස්න මැඬගැනීමට ඉඩ නො දීමට බුදුරජාණන් ආදර්ශයෙන් ක්‍රියා කළ සේක. ආලෝකය පහළ කළ උන්වහන්සේ අඳුර පළවා හැරියහ. කිසිවිටෙකත් අඳුරට ආලෝකය ගිල ගැනීමට ඉඩ නුදුන්හ. අඳුර ලෝකයා සදාකාලික දුකෙහි ගිල්වන බව උන්වහන්සේ දත්හ. එය අසමසම අංගීරසයන් වහන්සේගේ මහාකරුණාවේ ප්‍රභාවයි.

 

ඊෂ්වරනිර්මාණවාදී බ්‍රහ්මමුඛ සංකල්පය කරපින්නා ගත් බමුණන්ගේ අධිකාරයත්, නොයෙක් දෘෂ්ටිවාදවල එල්බගෙන අනේකවිධ චරණ මාර්ගයන් දේශනා කළ තීර්ථකයන්ගේ කුමන්ත්‍රණත් හමුවේ තම ශ්‍රාවක පිරිස ගොඩනගන්නට, ප්‍රඥාවේ ආලෝකය පතුරැවා හරින්නට බුදුරජාණන් වහන්සේට මහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. පන්සාලිස් වසක් පුරා උන්වහන්සේ ගම්නියම්ගම් රාජධානි වෙත වැඩ කරමින් අප්‍රමාණ වෙහෙසක් ගත්තේය. එහි දී දහසකුත් අවලාද නින්දා අපහාස ජීවිත තර්ජන ගර්ජන පවා එල්ලවිය.

 

එහෙත්, ඒ කිසිවකින් නො සැලුණු උන්වහන්සේ තාදි ගුණයෙන් සියල්ල උපේක්ෂාවෙන් විඳ ගත්තේ ය. තමන් වහන්සේ තනන ලෝකය වෙනත් කිසිදු ශාස්තෘවරයෙකුට මනුෂ්‍යෙයකුට හෝ දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට හෝ තැනිය හැකි එකක් නො වන බව උන්වහන්සේ හොඳාකාරව ම දත්හ.

 

බුදු වූ විගස වහා පිරිනිවන් පාන්නැ යි මාරයා පැමිණ බල කළ අවස්ථාවේ දී “මාරය, තගේ බල සිඳලිය හැකි භික්ෂු – භික්ෂුණී – උපාසක – උපාසිකා යන සිව්වණක් පිරිස ම ගොඩනඟන තුරැ මම පිරිනිවන් නො පාමි යි; ඉදින් තට හැකි දෙයක් කරව” යි මාරයාට තර්ජනය කළේය. ජීවිතයේ අවසාන සමයේ දී සිව්වණක් පිරිස දෙස බලා තම ශ්‍රාවක පිරිසේ වගකීම මැනැවින් ඉටු වනු දැක දරැවන් රජ වූ කලෙක උදම් අනන පියෙකු මෙන් මහකුළුණු මෙත් සිතින් ප්‍රීති වාක්‍ය පළ කළ ආකාරය දකින කවරෙකු සිත බුදුන් කෙරේ නො නැමේ ද?

ඒ සා මහත් වෙහෙසක් දරා උන්වහන්සේ බිහි කළ මහා කරැණා ශාසනය දුර්ලබ්ධි ගත් මිසදිටුවන්ට ගිල ගැනීමට ඉඩ දෙමු ද? එය ශාස්තෘගර්වය ඇති බෞද්ධ භික්ෂුවගේත් ගිහියාගේත් නියම වගකීම නො වේ.

පංචන ජයසිංහ