නව ජාතික පුණරුදයකට මග පෙන්වූ, හෙළ සග සසුනේ කේසර නාදය !

නව ජාතික පුණරුදයකට මග පෙන්වූ, හෙළ සග සසුනේ කේසර නාදය !

SHARE

පිදිය යුත්තන් පිදීම ශ්‍රී ලාංකීය සෑම ජන කොටසකගේම පරම යුතුකමක් වන්නේ ය. සිංහලකම බෞද්ධකම ආරක්ෂාකර ගනු සඳහා දිවි පරදුවට තබා කටයුතු කළ ගිහි පැවිදි උතුමෝ මේ පුණ්‍ය භූමියේ පහළ වූහ. ඒ අතරින් ශ්‍රේෂ්ඨ අනභිභවනීය පැවිදි පඬිරුවනක් වූ බලපිටිය, මොහොට්ටිවත්තේ, ගුණානන්ද හිමි නාමය කිසිදා අමතක නොවන වීර නාමයකි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක්ව තිබූ සමයේ බුදු දහමට, සිංහල බෞද්ධයාට මාරාන්තික ප්‍රහාර එල්ලවන්න ට විය.

විශේෂයෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බොදුනු ජනයාගේ වන්දනාමානයට ලක්වූ බෝරුක් කපා විනාශ කරන්න අධිරාජ්‍යවාදී සුදු පාලකයෝ පෙළඹුණහ. මේ කටයුතුවලදී අධිරාජ්‍යවාදීන්ගේ පදවි තනතුරු වරප්‍රසාද ලැබ බුදුදහම අතහැර ක්‍රිස්තියානි ආගම වැළඳගත් සිංහල අතලොස්සක් ද එක්වීම කනගාටුවට කරුණකි. සිදුවන්නට යන විනාශය දෙස හොඳින් බලා සිටි ගුණානන්ද හිමියෝ තමගම් ප්‍රදේශය වන බලපිටියේ සිට අගනුවර කොටහේන දීපදුත්තාරාම විහාරයට වැඩම කර සුදු ජාතික පාලකයින් කපාවිනාශ කළ බෝරුක් වෙනුවෙන් කොළඹ නගරය පුරා නැවත බෝරුක්සිටුවා ජාතික ආගමික ප්‍රබෝධය ඇති කරලීමට නාහිමියෝ පියවර ගත්හ.

උපන් ගෙයිම තිබූ ධෛර්යයවන්ත බව, කිසිවකුට බිය නොවන ස්වභාවය හා එඩිතර වාග්මාලාව නිසා අසරණව සිටි බොදුනු ජනතාව ප්‍රීතිමෝදයෙන් නාහිමි වටා එක් රොක්වන්නට වූහ. විරාජමානව වැඩහිදිනා කොටුව බෝරුකද නාහිමිගේ සුරතින් සිටුවන ලද්දක් වීම මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතුය. වර්ෂ 1823 පෙබරවාරි 09 වෙනි දින දකුණුලක බලපිටිපුරවරයේ මිගෙට්ටුවත්‍ත ග්‍රාමයේදී මේ පින්වත් වීර කුමරු ගිංගම ලද්ද මිගෙල් මෙන්ඩිස් නමින් උපත ලැබීය. ළමාවියේ පටන්ම අනෙක් දරුවනට වඩා මුහුකුරාගිය ස්වරූපයක් හා එඩිතර සටන්කාමී බවක් පෙන්නුම් කළේය. ඒ අතර තියුණු බුද්ධිය ස්ථානෝචිත ප්‍රඥාව කිසිවකුට යටත්නොවන වාග්මාලාව පෙර සසර පුරුද්දක් නිසාදෝ උපන් බලමහිමයෙන්ම පිහිටා තිබුණි.

කලවයස පිරෙත්ම මවුපියන්ගේ රුචිකත්වය මත පැවිදි දිවියට ඇතුළත් වූයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමිනි. පැවිදි දිවිය තුළදී භික්ෂුවකට ඇවසි ධර්ම කරුණු මනා ලෙස අවබෝධ කරගෙන කටයුතු කරගෙන යත් දී නොසිතූ ලෙස තම පියා හදිසියේ අභාවයට පත් වන්නේ ය. මේ නිසා පවුලේ වගකීම දැරීමටත් මවට සහයෝගය දීමටත් සිතාගෙන ගිහි පැවිදි සියල්ලටම කරුණු වටහා දී උපපැවිදි වූහ. මෙසේ කාලයක් පවුලේ ආර්ථිකය සවිමත් කරමින් ඉන්නා විට තම ඥාතිවරයකු වූද බලපිටිපුරවරයේ මුදලිදු කෙනෙකු වූ ඒබ්‍රහම් අල්විස් මැතිතුමාගේ ආධාර උපකාර ඇතිව කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත්ව මැනවින් ඉංග්‍රීසි භාෂාව ඇතුළු විවිධ බටහිර හා පෙරදිග විෂයන් හදාරමින් තමදැනුම පුළුල් කර ගත්තේය.

ඒ අතරට ක්‍රිස්තියානි ආගම පිළිබඳව ද පුළුල් හැදෑරීමක් කරමින් ආගම් අතර තිබෙන සුවිශේෂී කරුණු අවබෝධ කර ගත්තේය. ගිහියකු වශයෙන් විවිධ හැදෑරීම් කළත් චීවරයේ සුවඳට නිරතුරුව ඇළුම් කළේය. දොඩන්දූව කුමාර විහාරයේ පැවති ත්‍රිපිටක ගන්ථාරූඪ කිරීමේ පු‍ණ්‍ය උත්සවය අවසානයේ දී මිගෙල් තරුණයා නැවත වතාවක් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ලෙසින්ම පැවිදි දිවියට එළඹුණහ. බලපිටිය සුභද්‍රාරාම විහාරයේ මෙසේ ටික කාලයක් වැඩ සිට කොළඹ කොටහේන දීපදුත්තාරාම විහාරයට වැඩම කරවා ජාති ආගමික ප්‍රබෝදය ඇති කරලමින් විප්ලවීය ආගමික මෙහෙවරකට පියවර තැබීය. මෙහිද වෙසෙසින් සඳහන් කළ යුතුවන්නේ වර්ෂ 1832 ඇරැඹි කොළඹ – කොටහේන දීපදුතතාරාම පුරාණ විහාරය කොළඹ නගරයේ ඇරැඹි ප්‍රථම විහාරයයි. මෙම ඓතිහාසික පින්බිමේ වැඩි සිටිමින් ගුණානන්ද හිමියෝ කළ ජාතික ආගමික මෙහෙවර මිල කළ නොහැකිය.

මෙම සිදුවීම් යුග ගණනාවකට මතකයෙන් බැහැර නොවන්නේය. බොදුණුවන්ට එරෙහිව බුදු දහමත් ජාතක කථා ආදියත් උපහාසයට ලක් කරමින් ද භික්ෂූන් වහන්සේට තඩාන පීඩන කරමින් ද වෙහෙර විහාර විනාශ කරමින් ද ඉංග්‍රීසි පාලකයෝ කටයුතු කළහ. මෙයට නිසි පිළිතුරු දීම සඳහාත් බුදු දහමේ සත්‍ය වටහාදීමත් අරමුණු කරගෙන ලක්මිණි කිරුළ වැනි ධර්ම පත්‍රිකා පලකරමින් ද ගුණානන්ද හිමියෝ මිථ්‍යාදෘෂ්ටික මත බිඳ දැමීමට පියවර ගත්හ. ඒ අතරම බුදු දහමේ යථාර්ථය හඳුන්වා දෙමින් ප්‍රසිද්ධ වාද කිහිපයක් පැවැත්වීමට අප නාහිමියෝ පියවර ගත්තේ ශූර කථිකත්වය හා ක්‍රිස්තියානි ආගම පිළිබඳ තිබුණු දැනුම උපයෝගී කරගෙනය.

ඒ අනුව වර්ෂ 1865 බද්දේගමදී ද 1860 කැලණිය වරාගොඩදී ද 1871 උදම්විටදී ද 1873 සුප්‍රසිද්ධ වාදය වූ පාණදුරාවාදය පුරා දෙදිනක් පුරා පැවැත්විනි. මෙම වාදවලින් පසු සිංහල බෞද්ධයින් හා ක්‍රිස්තියානි ලබ්ධිකයින් අතර පැවති මිථ්‍යාමත දුරලීමටත් ආගමික සහ සිංහල චාරිත්‍ර පිළිගැනීමවත් දැනුම වර්ධනය කිරීමත්, නව සංස්කෘතික හා ජාති අභිවෘද්ධියට හේතු විය. ගුණානන්ද හිමියන්ගේ වාද විවාද ජාත්‍යන්තරය ඔස්සේ පැතිර ගිය නිසා ඇමරිකාවේ හෙන්රි ඕල්කොට්තුමා හා රුසියාවේ බ්ලැවැට්ස්කි මැතිනිය වර්ෂ 1880 මැයි මස 16 ලංකාවට පැමිණ බුදු දහම් වැලදගත්හ. ඕල්කොට්තුමා විසින් අරඹන ලද බෞද්ධ අධ්‍යාපනයේ නියමු උපදේශකවරයා වූයේ ගුණානන්ද නාහිමියන්ය.

මෙයට උපහාරය කෘතගුණ දැක්වීමක් ලෙසින් කොළඹ ප්‍රමුඛ බෞද්ධ විදුහලට ගුණානන්ද යයි නම තැබීමට ඕල්කොට්තුමා අදහස් කළ ද ගුණානන්ද හිමියෝ ආනන්ද විදුහල යැයි නම්කළේය. රට දැය බුදු සසුන වැනසීමට වෙරදරන සියලු බලමුළු හමුවේ එඩිතර බුදු පුත්‍රයෙකු ලෙසින් ජාතියේ පිනට පහළ වූ අතිශ්‍රේෂ්ඨ වාදිහසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ වර්ෂ 1890 සැප්තැම්බර් 21 දින මෙලොවින් සමුගත්හ.