ජනාධිපතිතුමාත් කිව්වා ” මායා අක්‌කා” බලන්න ඕනේ කියලා

ජනාධිපතිතුමාත් කිව්වා ” මායා අක්‌කා” බලන්න ඕනේ කියලා

SHARE

ranjan-ramanayaka-female-role-14රන්ජන් රාමනායක මේ දිනවල බොහෝ සේ කතාබහට ලක්‌වන චරිතයක්‌. ඒ දේශපාලනය නිසා නොවේ. සිනමාව නිසාය. වන්ෂොට්‌, රන්ජා වැනි චරිත ඔස්‌සේ ප්‍රේක්‌ෂකයා වෙත ආ රන්ජන් මේ දිනවල වෙනස්‌ම චරිතයකින් රසික ආකර්ෂණය දිනා ගනිමින් සිටී. ඒ “මායා” ය.

මායා චිත්‍රපටයේ මායා නමැති සුවිශේෂී චරිතය රඟන රන්ජන් රාමනායක සමඟ කළ සාකච්ඡාවකි මේ.

ඔබ රඟපෑ චිත්‍රපටයක්‌ කොපමණ කලකට පසුවද මේ තිරගත වන්නේ..?

හැම අවුරුද්දකටම වරක්‌ මගේ අලුත් චිත්‍රපටයක්‌ තිරගත වෙනවා. ගිය අවුරුද්දේ ” සිංහයා” කළා. “රන්ජා” කළා. කොහොම හරි මම වෙලාව කළමනාකරණය කරගෙන සිනමාවේත් ඉන්නවා.

මායා චිත්‍රපටයේ ඔබ කරන මේ චරිතය මොකක්‌ද?

මට මේ චරිතය භාර දෙන්නේ නිෂ්පාදක සදිස්‌ කුමාර්, පුබුදු චතුරංග අධ්‍යක්‌ෂ ඩොනල්ඩ් ජයන්ත, අසෝක ආරියරත්න ඇවිත් කතා කළා. මේක අභියෝගාත්මක චරිතයක්‌. පිරිමිත් නොවන ගැහැනුන් නොවන තත්ත්වයේ චරිතයක්‌. මට තේරුණා හොඳට ඉදිරිපත් කළ හැකි චරිතයක්‌ බව. ඒත් මගේ සතුරන්ට හොඳට පාවිච්චි කළ හැකි චරිතයක්‌.

කවුද මේ මායා..?

මායා කියන්නේ තමන් නොකළ වරදකට දඬුවම් විඳින චරිතයක්‌. දරුවන් කුසේ සිටිද්දි සමහර අම්මලා ඖෂධ අධි මාත්‍රාවක්‌ පාවිච්චි කරනවා. අම්මලා දුම් බොනවා. මත්ද්‍රව්‍ය ගන්නවා. ඒ වගේම හෝමෝන ප්‍රශ්න අධික බිය, ආතතිය, උදරයට දරුණු ප්‍රහාර එල්ලවීම, පියාගේ ගෘහස්‌ථ හිංසනය වැනි කාරණා නිසා මෙවැනි දරුවන් උපදින්න පුළුවන්. මේ එකකටවත් දරුවා පළි නැහැ. දරුවා ලැබෙන්න ඉද්දි ගබ්සාව සඳහා ඖෂධ ලබා ගැනීම, අඩු මාසෙන් දරුවන් ඉපදීම වැනි කරුණු නිසා ෙමැනි දරුවන් උපදිනවා. මේ වගේ දරුවන් උපතේ සිට මරණය දක්‌වාම නොමරා මරනවා. පෙර පාසලේදී, පාසලේදී, උසස්‌ අධ්‍යාපනයේදී, රැකියා ස්‌ථානයේදී, ඡන්දේ දමද්දී, රෝහලේදී මෙවැනි අය අසීරුවට පත් කරනවා. මායා කියන්නේ එවැනි චරිතයක්‌. අසාධාරණයට ලක්‌වූ අහිංසක චරිතයක්‌ තමයි මායා.

මෙවැනි චරිතයක්‌ රඟපෑම ඔබේ ප්‍රතිරූපයට හානි කරයි කියා කිසිවෙකු පැවසුවොත්….?

ඔව්…. අලුත් නළුවෙක්‌ට නම් කමක්‌ නෑ. නමුත් හිතන්නත් බැරි සමහර පුවත්පත්වල මට හොඳ විචාරයක්‌ ලැබුණා. මට සීනිබෝල නළුවා කියා කියූ අය, ගස්‌ වටේ දුවනවා කී අය මගේ රඟපෑම ගැන හොඳ කියනවා මේ චිත්‍රපටයේ. දේශපාලන වේදිකාවේදී ගිතා කුමාරසිංහ රංගන ශිල්පිනිය විතරයි මට දොස්‌ කිව්වේ. ප්‍රතිරූපයට හානි වීමක්‌ වුණේ නෑ. මම ගත්ත අවදානම නිසා මට චිත්‍රපටවලින් අඩුවක්‌ නැති බව ඒ අය දන්නවා. සිනමා ක්‍ෂේත්‍රයේ මම තිර පිටපත් රචකයෙක්‌, අධ්‍යක්‌ෂවරයෙක්‌ සහ නළුවෙක්‌ කියා ඒ අය දන්නවා. පාර්ලිමන්ට්‌ ජෝක්‌ස්‌, වන්ෂොට්‌ වන්, ලිඩර් වන්, නවරියං, මම ලියූ තිර පිටපත් බව ඒ අය දන්නවා. මේක මම රඟපෑවේ සද්භාවයෙන් බව විචාරකයෝ දන්නවා. මම හිතන්නේ මායා මගේ ප්‍රතිරූපයට වාසියක්‌ මිස හානියක්‌ නොවේ. නමුත් මේක දැළි පිහියෙන් කිරි කනවා වගේ දෙයක්‌. මායා චරිතය සඳහා මම මීට වඩා ප්‍රහාර බලාපොරොත්තු වුණා.

ඔබේ දේශපාලන ප්‍රතිරූපයටත් මේ චරිතය හානියක්‌ නැද්ද?

අද තමයි චිත්‍රපටය ශාලාවලට දැමූ පසුව පළමුවරට මම පාර්ලිමේන්තුවට ආවේ. මන්ත්‍රීවරු බොහෝ දෙනෙක්‌ පැවසුවේ මායා බලන්න ඕනේ කියලා. බලපු මන්ත්‍රීවරු ඇවිත් ප්‍රසාදය පළ කළා. ජනාධිපතිතුමාත් කිව්වා ” මායා අක්‌කා” බලන්න ඕනේ කියලා. මීට කලින් මගේ චිත්‍රපටවලට කවුරුත් මේ විදිහට කිව්වේ නෑ. මන්ත්‍රීවරුන් වෙනම දර්ශනයක්‌ ඉල්ලනවා ජනාධිපතිතුමා සමඟ බලන්න ඕනේ කියලා. ජනාධිපතිතුමා එක්‌සත් ජාතීන්ගේ සම්මේලනයට යන්න කලින් “මායා” බලන්න ඕනේ කිව්වා. ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කතා කරලා කිව්වා ඒ අයටත් මායා බලන්න ඕනේ කියලා. ද්‍රවිඩ ජාතික සන්ධානේ මන්ත්‍රීවරුන්ට දෙබස්‌ තේරෙන්නේ නැති හින්දා උපසිරැසි ඕනේ කිව්වා. මේ දවස්‌වල ඒකට ලැස්‌ති වෙනවා. තව අය කතා වුණා දෙමළෙන් දෙබස්‌ කවන්න. එවැනි යෝජනා ආවා.

මායා දෙවැනි කොටසටත් සූදානම් බව අධ්‍යක්‌ෂවරයා පවසනවා. මේ චරිතයට යළි ආවේශ වෙන්න ඔබත් සූදානම්ද?

තවම තිර පිටපත ලියලා නෑ. කොහොම වේවිද දන්නේ නෑ. දැනට මේ චරිතය බොහෝම ජනප්‍රියයි. ප්‍රේක්‌ෂකයෝ ඉල්ලනවා නම් යළි හිතලා බලන්න පුළුවන්.

මායා රඟපාද්දී ඔබ එහි දමිළ චිත්‍රපටයේ චරිතය අනුකරණය කළාද?

දෙමළ චිත්‍රපටය නොබැලුවා කියනවා නම් ඒක බොරුවක්‌. මේ චිත්‍රපටය වගේම කමල් හසන්ගේ ” ෂන්මැගී” කොපි කළා. ඒකත් වෙනත් චිත්‍රපටයක කොපියක්‌. ඊට කලින් අමිතාභ් භච්චන්, ෂාරුක්‌ ඛාන්, විජය කුමාරතුංග වැනි අයත් කාන්තා චරිත රඟපා තිබුණා.

අතීතයේදී අපේ රටේ නිළි චරිත රඟපෑවෙත් පිරිමි අය. ඒ එදා කාන්තාවන්ට රඟපෑම නුසුදුසු බවට විශ්වාස කළ නිසා. නමුත් අද එවන් තත්ත්වයක්‌ නෑ.

නිළියෝ ඉද්දි ඇයි මායා චරිතයට ඔබවම තෝරා ගත්තේ?

වන්ෂොට්‌ වගේ සටන් කරන කාන්තාවක්‌ මේ චරිතයට වුවමනා වුණා. මස්‌පිඬු තියෙන කෙනෙක්‌. ඒ චරිතයට ඔබින නිළියක්‌ නැති වෙන්න ඇති. දමිළ චිත්‍රපටයේ රඟපෑවෙත් සරත් කුමාර කියන කියාදාම සටන් නළුවා.

ඔබ සෑහීමකට පත්වෙනවද මේ චරිතය රඟපෑම ගැන?

අවංකවම මම බයෙන් හිටියේ. විචිකිච්චාවක්‌ තිබුණා. මේක මගේ අවුරුදු තිස්‌ ගණනක්‌ තිස්‌සේ හදා ගත්ත නමට අවුරුදු දහයක්‌ පිට පිට ජනප්‍රිය නළුවා ලෙස ලබාගත් ජනතා සම්මානයට මේ චරිතය නිසා හානියක්‌ වේවි කියලා. මේක ගල උඩ සටනක්‌ වගේ. අහන්න වෙන නරක කතා දන්නවනේ.

දේශපාලන වේදිකාවේ දැන් සිටම ඔබට ප්‍රහාර එල්ල කිරීම ඇරඹිලා?

ඔව්. මේ චරිතය නොකළා කියලා මට නැතිවෙන්න දෙයක්‌ නෑ. මේක නොකළත් මට ජනප්‍රිය සම්මානය ලැබිලා තියෙන්නේ. හොඳම නළුවා සම්මානයත් ලැබී තිබෙනවා. මේ චිත්‍රපටය රඟපාන්න මම කාලය හොයා ගත්තේත් බොහොම අමාරුවෙන්. ඒ කාලේ අපි හිටියේ විරුද්ධ පක්‌ෂයේ. පාර්ලිමේන්තුවේ අපිට තිබුණේ ආසන හතළිස්‌එකයි. හැමදාම කතා නිදහසක්‌ තිබුණේම නෑ. ඒ අතර තමයි මේ චරිතයට මම හැඩ ගැහුණේ. රෝම කූප ඉවත් කරනවා. කාන්තාවක ලෙස ශරීරය හැඩ ගැන්වීම් කරනවා වේශ නිරුපණ ශිල්පින් විසින්. හවරි දාලා කොණ්‌ඩ දාලා. ඒක ඉතා විශාල වැඩක්‌.

කාන්තාවකගේ චරිතයක්‌ රඟපෑම අසීsරු වුණේ නැද්ද?

අවංකවම කිව්වොත් අසිරුයි. මගේ ජීවිතේ මම රඟපෑ අමාරුම චරිතය තමයි මායා. මේක මම ගැහැනියක්‌ වගේ ඇවිදින්න දුවන්න ඕනේ. ලාලිත්‍ය ගමන, ටික දුරක්‌ එහෙම යද්දී හිටපු හැටියේ රන්ජන් රාමනායක මතු වෙනවා. කට්‌ කට්‌ කියලා ආයේ මුල ඉඳලා කැමරා කරනවා. මේක අර්ධ පිරිමි චරිතයක්‌. ක්‍රියාදාම නළුවෙක්‌ මෙවැනි චරිතයක්‌ කිරීම හරිම අමාරුයි.

අජිත් අලහකෝන්