“අප්පච්චි මළෝට යස පාඩමක්‌ ඉගැන්නුවා..”

“අප්පච්චි මළෝට යස පාඩමක්‌ ඉගැන්නුවා..”

SHARE

vijith-vijayamuniඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු මේ දිනවල බලවත් උනන්දුවකින් පළාත්බද රැස්‌වීම්වල නිරතව සිටිති. දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ආධාරකරුවන් කැඳවමින් ඔවුන්ට කරුණු පැහැදිලි කරමින් පළාතෙන් පළාතට යන මන්ත්‍රීවරු පිරිසක්‌ද සිටිති. මෙම සති අන්තය එබඳු රැස්‌වීමක්‌ මොණරාගල පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී ද පැවැත්විණි. දිස්‌ත්‍රික්‌කයේ සෑම ග්‍රාමසේවක වසමක්‌ම නියෝජනය වන පරිදි විශාල පිරිසක්‌ මේ රැස්‌වීමට පැමිණ සිටියහ. ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, රංජිත් සොයිසා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්‌ ඒ සඳහා සහභාගි වූහ.

මොණරාගල රැස්‌වීම සංවිධානය කළේ ශෂීන්ද්‍ර රාජපක්‌ෂයි. රැස්‌වීමේ නිල කටයුතු අවසන් වූ පසු සියලුම දෙනා දිවා ආහාරය සඳහා ගියේ ශෂීන්ද්‍ර රාජපක්‌ෂට අයත් සිරිගල නිවසටය. සිරිගල නිවස මේ නායකයින් සියලු දෙනාට එක්‌වී කතාබස්‌ කරන්නටද කදිම තැනක්‌ වී තිබිණි.

ආණ්‌ඩුව දැන් ආයිත් පරණ සෙල්ලම පටන් අරන්. ප්‍රසන්න රණතුංග එසේ කීවේ කුමාර වෙල්ගම දෙස බලාගෙනය.

“මොකක්‌ද පරණ සෙල්ලම කියන්නේ…” වෙල්ගම ඇසීය.

“ඇයි ඔය කිය කිය යන්නේ ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු බුරුතු පිටින් ආණ්‌ඩුවට එකතු වෙන්න ඇවිත් කියලා…” ප්‍රසන්න කීවේය.

“මොන පිස්‌සුද ඔලුවක්‌ තියෙන එකෙක්‌ එකතුවෙයිද මේ ආණ්‌ඩුවට” වෙල්ගම කීවේය. වෙල්ගම මෙහිදී තවත් හෙළිදරව්වක්‌ කළේය.

“ඔය දෙන්න මට බාලයි. මම වැඩ කළේ ඔයගොල්ලගෙ තාත්තල එක්‌ක. අද මම ඔය දෙන්නත් එක්‌කත් වැඩ කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින සීනියර්ම ශ්‍රී ලංකා කාරයා මම. අන්න එස්‌.බී. කියනවා මහින්ද මහත්තයා පක්‍ෂය අත්ඇරල ගිහිල්ල තියෙනව කියල. මිනිහ එහෙම කිව්වට මහින්ද මහත්තයා කවදාවත් පක්‍ෂය දාල ගිහිල්ල නැහැ. එස්‌බීල තමයි ගියේ. ඔන්න ඕක අපි ජනතාවට කියන්න ඕන” වෙල්ගම කීවේ ශෂීන්ද්‍රටත්, ප්‍රසන්නටත්ය.

“එස්‌බියා ඉතින් කිව්වොත් කියන්නෙ පට්‌ටපල් බොරුවක්‌නෙ…” රංජිත් සොයිසා කිව්වේය.

“ඒක නෙමෙයි මන්ත්‍රීතුමා මොකද්ද මේ කේවට්‌ටවාදය කියල තියෙන්නෙ” ප්‍රසන්න ඇහුවේ ශෂීන්ද්‍රගෙන්ය. පසුගිය සතියේ ශෂීන්ද්‍රත්, විජිත් විජයමුනි සොයිසාත් අතර ඇතිවූ වාදය පිළිබඳ ලොකු කතාවක්‌ සමාජයේ ඇතිවී තිබිණි.

“නෑ මම කිව්වේ… ඔය මනුස්‌සයා මහින්ද මහත්තය ගාව වැඳ වැටෙන හැටි මමනෙ දන්නෙ. වෙලාවකට කවි කියනව. වෙලාවකට සින්දු කියනව. තව වෙලාවකට ශ්ලෝක කියනව. ඔක්‌කොම ඉතිං ගුණ ගී ගායනාම තමයි. මහින්ද මහත්තයගෙ ගුණ කියනව ඇරෙන්න වෙන මොනවත් කළේ නැහැ මිනිහා…” ශෂී පැහැදිලි කළේය.

“හැබැයි ඉතින් මොණරාගල මිනිස්‌සු නම් ඔය අප්පච්චි මළෝට යස පාඩමක්‌ ඉගැන්නුවා…” ප්‍රසන්න කීවේය.

NO COMMENTS

LEAVE A REPLY