අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය පනත සම්මතවූ හැටි

අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය පනත සම්මතවූ හැටි

SHARE

athurudahan_ceylonleaderපොර්ට් සිටි මාතෘකාවන්ට පෙර තවත් බරපතල මාතෘකා දෙකක් පසුගිය සතියේ දේශපාලන කතිකාව උණුසුම් කළේය.ඒ වැට් යෝජනාවලියට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය ගෙන ආ අධිකරණ තීන්දුවයි. දෙවැන්න අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය ලංකාවේ පිහිටුවීම පිළිබඳ යෝජනාවලිය කරළියට පැමිණීමයි.

පසුගිය අඟහරුවාදා රැස් වුණු ඒකාබද්ධ විපක්ෂයේ මංත්‍රී කණ්ඩායම අතුරුදන්වූවන්ගේ කාර්යාලය හරහා රටට වන විපත ජනපතිට දන්වමින් පනත සම්මත කිරීම වහාම නවතා එහි ව්‍යවස්ථානුකූලත්වය විමසා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන මෙන් ඉල්ලා ලිපියක් යැවීමට තීරණය කළේය. ලිපිය සැකසීම භාර වුණේ උදයටය.

බදාදා දින උදය තමන් සැකසූ ලිපියට පක්ෂ නායකයන්ගේ එකඟතාව ලබා ගන්නා අතරේ මහින්දානන්ද මංත්‍රීවරුන්ගේ අස්සන් එකතු කිරීම ඇරැඹීය. අවසානයේදී උදය, ජයන්ත සහ සිසිර පාර්ලිමේන්තුවේ ඇති ජනපති කාර්යාලයට ගොස් ජනපතිගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් මියුරු භාෂිතට එම ලිපිය භාර දුන්නේය. ලිපිය වහාම ජනාධිපතිට යැවීමට ඔහු පොරොන්දු විය.

බ්‍රහස්පතින්දා උදෑසන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කමිටු කාමර 4ට රැස් වුණේ ජනපතිට යැවූ ලිපියට ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙනි. නමුත් දිනේෂ් පැවැසුවේ විවාදය කල් දැමීමට හෝ කෙටුම්පත ශේර්ෂ්ඨාධිකරණයට යොමු කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි. දිනේෂ්ට සහ උදයට මහින්ද අමරවීර පවසා තිබුණේ ජනපති එදින උදෑසන අගමැති සහ මලික් සමඟ සාකච්ඡාවක් කර යම් යම් සංශෝධන කිරීමට උපදෙස් දුන් බවයි. ඒ අනුව දිනේෂ් උදයට උපදෙස් දුන්නේ වහාම කතානායක හමුවී ජනපතිට යැවූ ලිපියේ පිටපතක් භාරදී විවාදය කල් දමා ගැනීමට උත්සාහ දරන ලෙසයි. උදය කතානායක හමු වුණත් පක්ෂ නායකයන් බහුතරය අද දින විවාදයට ගැනීමට එකඟ නිසා තමන්ට තනි මතයට කල් දැමීමට නොහැකි බව කරුගේ මතය විය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය කලබල වූයේ දවස් එකහමාරක විවාදයේ තමන්ට වෙන් කර ඇති වේලාව දැකීමෙනි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රිවරුන් හයදෙනකුට පළමු දිනයේ වෙන් කර තිබුණේ විනාඩි 48ක් පමණි. ඒ අනුව දිනේෂ් සහ වාසුට විනාඩි 12 බැගින් ද විමල්, උදය, මහින්ද යාපා සහ විමලවීරට විනාඩි 7 බැගින් ද වෙන් කර තිබිණි. මෙතරම් කුඩා වෙලාවකින් පනතේ ආදීනව පැහැදිලි කළ නොහැකි බව කාගෙත් පොදු මතය විය. එබැවින් විවාදය කල් නොදමන්නේ නම් අවම වශයෙන් හෙට දවස ද විවාදයට වෙන් කර වැඩි වෙලාවක් වෙන් කර ගත යුතු බවට කවුරුත් එකඟ වූහ. එයට එකඟ නොවුණොත් සභාව මැදට පැමිණ විරෝධය පළ කළ යුතු බවට මහින්දානන්ද කළ යෝජනාවට කාගෙත් සහාය හිමි විය.

රැස්වීම අවසානයේදී ගීතා විසින් රහසිගතව ගෙනෙන ලද කළු පටි තොගයක් කවුරුත් අත්වල බැඳ ගත්හ. ඒ අතරේ එය සාටකයක් ලෙස ගෙල වටා දමා ගත් බන්දුල සුදු ඇඳුමට ගැළපෙන්නේ ගෙල වටා ඔතා ගැනීම බව කියද්දී කවුරුත් අතේ බැඳි පටි ගලවා ගෙල වටා පැලඳ ගත්හ.
පාර්ලිමේන්තුවේදී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ විවාදයේ ඡන්ද විමසීම සිකුරාදා උදේ 11ට සිදු කිරීමට යෝජනා කළ විට දිනේෂ් නැඟිට විරෝධය පළ කරමින් විවාදය ඊළඟ සතියට කල් දමන ලෙසත් නැතිනම් සිකුරාදා සම්පූර්ණ දිනයම වෙන් කරන ලෙසත් ඉල්ලීය. ආණ්ඩුව එයට එකඟ නොවීමෙන් සභාව උණුසුම් විය. අවසානයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රිවරු සභා ගැබ මැදට පැමිණ කතානායකට විරෝධය පළ කරන්නට වූහ. කතානායක මන්ත්‍රීවරු නැවත අසුන්වලට යැවීමට දැඩි වෙහෙසක් ගත්තත් එය සාර්ථක නොවිණි.

අවසානයේදී කතානායක විසින් සභාව කල් තබා පක්ෂ නායක රැස්වීමක් කැඳවීය. නැවත පස්වරු 1.30ට සභාව රැස්වුණේ පක්ෂ නායකයන්ගේ එකඟතාවකට පැමිණීමෙන් තොරවය. ඒ නිසා නැවතත් මන්ත්රිවරු සභා ගැබ මැදට පැමිණියහ. ඔවුන් පාද යාත්රාවේදී ගැයූ ගීත ගායනා කරමින් සභා ගැබ මැද සටන් පාඨ කියන්නට විය. වාසු, විමල්, උදය, මහින්දානන්ද, රෝහිත සහ පවිත්‍රා සටන් පාඨ කීමට නායකත්වය දෙනු පෙනිණි.

NO COMMENTS

LEAVE A REPLY